ව්‍යාජ ලේඛන හැදූ හබරණ ළැඟුම්හලක්

හබරණ ළැඟුම්හලක පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කරන ජාවාරමක් වටලයි

by Staff writer 07-03-2021 | 10:56 AM

COLOMBO (News 1st) – හබරණ නගරය ආසන්නයේ ළැඟුම්හලක පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කරන ස්ථානයක් වටලා පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එහි තිබී ජාතික හැඳුනුම්පත්, වාහන අංක තහඩු, ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික, රාජ්‍ය ආයතන මුද්‍රා ඇතුළු ව්‍යාජ ලේඛන තොගයක් සොයාගත් බවයි. සැකකරුවන් දිවුලපිටිය, කහටගස්දිගිලය සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් භාරයේ තිබී අංක තහඩු රහිත මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. ඔහු පැවසුවේ, මෙම ස්ථානයෙන් කිසියම් පුද්ගලයකු ව්‍යාජ ලේඛන ලබාගෙන තිබේ නම් , ඔවුන්ට එරෙහිව ද නීති මගින් කටයුතු කරන බවයි සැකකරුවන් අද හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.