මුදලට ඉල්ලූ එන්නත්දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි ද?

මුදලට ඉල්ලූ කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 10 දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි ද?

by Staff writer 07-03-2021 | 10:27 PM

COLOMBO (News 1st) - කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට ලබා දීමට නොහැකි වනු ඇතැයි ඉන්දියාවේ සීරම් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දන්වා තිබෙන බව සතිඅන්ත පුවත්පත් වාර්තා කළේය..

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත කොවිෂීල්ඩ් යන වෙළෙඳ නාමය යටතේ නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ සීරම් ආයතනයයි. එම එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් පසුගිය මාසයේදී මෙරටට ආනයනය කෙරිණි. පසුගියදා තම කර්මාන්තශාලාව තුළ හටගත් ගින්න හේතුවෙන් මාසික එන්නත් නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට බාධා පැමිණ ඇති බවද ඉන්දියාවේ සීරම් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දන්වා තිබෙන බව මාධ්‍ය වාර්තා කළේය. එක් එන්නත් මාත්‍රාවක් සඳහා අමෙරිකානු ඩොලර් 5යි ශත 25 බැගින් මාත්‍රා මිලියන 1.5 ක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සීරම් ආයතනයට මුදල් ගෙවා ඇති අතර, මාත්‍රා මිලියනයක් ලැබීමට නියමිතව තිබුණේ අප්‍රේල් මාසයේදී හෝ මාර්තු මාසයේදීය. එම ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඉල්ලා ඇත්තේ අදාළ ඇණවුම අවලංගු කිරීමට හා මුදල් ආපසු ගෙවීමට එකතාව පළ කරන ලෙසය. මේ පිළිබඳව අප කළ විමසීමකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පැවසුවේ එන්නත් ලබා දෙන නිෂ්පාදන සැලැස්ම නැවත සකස් කිරීමට සිදුවනු ඇතැයි ඉල්ලුම් කර ඇති රටවල් ගණනාවකට සීරම් ආයතනය පොදුවේ දැනුම් දී ඇති බවයි. එහෙත් තමන් ඇණවුම් කරන ලද එන්නත් තොගය නිසි පදිරි ලැබෙනු ඇතැයි තවදුරටත් අපේක්ෂා කරන බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.