පාස්කු වාර්තාව:අනු කමිටුව ලබන 12 රැස්වෙයි..

පාස්කු අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යනයට පත් කළ අනු කමිටුව ලබන 12 වැනිදා රැස්වෙයි..

by Staff writer 07-03-2021 | 8:28 AM

COLOMBO (News 1st) –  අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ලබන 12 වැනිදා යළි රැස්වීමට නියමිතය.

එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, ලබන 12 ,13 සහ 14 යන දින තුනෙහිම අඛණ්ඩව අමාත්‍ය මණ්ඩල අනු කමිටුව රැස්වීමට මේ වනවිට සැලසුම් කර ඇති බවයි. මේ අතර පසුගිය බදාදා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හමුවට දැනට සේවයේ නියතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් කිහිප දෙනකු සහ විශ්‍රාමික පොලිස් නිලධාරින් කිහිපදෙනකු කැඳවා තිබේ. ඒ, ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ යෝජිත නිර්දේශ ක්‍රියාත්මක කිරිමේදි ඇතිවන ප්‍රායෝගික තත්ත්වයන් සම්බන්ධයෙන් එම නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහායි. අමාත්‍ය අනු කමිටුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ, ඉදිරි දින කිහිපයේදි ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර තිබෙන විවිධ යොජනාවන්ට සම්බන්ධ අධ්‍යාපන, ආගමික, ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රයන්ට සම්බන්ධ පුද්ගලයින් අමාත්‍ය මණ්ඩල අනු කමිටුව හමුවට කැදවීමට සැලසුම් කර ඇති බවයි. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ අන්තර්ගත නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය චමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත් කරනු ලැබුවේ ය.