ලසන්ත ඝාතනයේ ප්‍රශ්නගත සිද්ධි 5ක් ගැන අනාවරණයක්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ප්‍රශ්නගත සිදුවීම් 5ක් පිළිබඳ අනාවරණයක්

by Staff writer 07-03-2021 | 10:10 PM

COLOMBO (News 1st) - වසර 12 ක් ගතවී තිබියදීත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන අභිරහස තවමත් අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබේ.

මේ අනාවරණය, එම අපරාධය සම්බන්ධයෙන් අවධානය යොමුවන ප්‍රශ්නගත සිදුවීම් 5ක් පිළිබඳවයි. 1.ඝාතනය සිදු කළේ කෙසේද? වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල 12 ක් සිරුරේ තිබූ බව එවක කලුබෝවිල විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා පැවසුවත්, ශල්‍යකර්මය කළ මහාචාර්යවරයාගේ වාර්තාව හා රස පරීක්ෂක වාර්තාවේ කියැවුණේ වෙඩි වැදීමෙන් සිදුවූ මරණයක් නොවන බවයි. 2016 සැප්තැම්බර් 27 සිරුර යළි ගොඩගෙන කළ පරීක්ෂණයෙන් එය ආයුධයකින් ඇණ සිදු කළ මරණයක් බව හෙළි විය. පරීක්ෂණවලදී ආයුධය සොයා ගැනීමට හැකි වුණාද? 02.ඝාතනයට පැමිණි යතුරු පැදිය 2009 ජනවාරි 27 වැනිදා අත්තිඩියේ වගුරකින් වව්නියාවේ පදිංචි අයෙකුට අයත් යතුරු පැදියක් සොයා ගත්තේ ඝාතනයට පැමිණි බවට සැක කරමින්. යතුරු පැදිය සොයා ගන්නා අවස්ථාව වනවිට එහි හිමිකරු සහ තවත් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර සතියකටත් වැඩි කාලයක් ගතවී තිබුණි. මේ ඝාතන පිටුපස සැඟවුණු අභිරහස කුමක්ද? 03.වැදගත්ම සාක්ෂියක් වූ සටහන් පොත. වික්‍රමතුංග මහතා ඔහු පසුපස එන යතුරු පැදි අංකය ලියූ සටහන් පොතත් ඊට අදාළ විමර්ශන සටහනුත් එවක ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ තිබී හදිසියේම නියෝජ්‍ය පොලිස්පතිවරයා භාරයට ගෙන තිබුණා. 2018 පෙබරවාරි මාසයේ එම නිලධාරීන් දෙදෙනාම අත්අඩංගුවට ගත්තේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මතයි. එම වසරේ ජුලි 02 වැනිදා ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරියා. සටහන් පොතට හා සාක්ෂි සටහන්වලට සිදු වූයේ කුමක්ද? 04.දුරකතන විශ්ලේෂණ වාර්තා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශනයේදී ලබාගත් දුරකථන විශ්ලේෂණ වාර්තාවලින් අංක 5 ක් අනාවරණය විය. ඒවා නිකුත් කළ හැඳුනුම්පත හිමි නුවරඑළියේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු ද සමගයි. 2011 ඔක්තෝම්බර් 13වැනිදා හැඳුනුම්පතේ හිමිකරු බන්ධනාගාරය තුළ මියගොස් තිබුණි. 2013 සැප්තැම්බර් 06 වැනිදා බුද්ධි අංශ සාමාජිකයා අධිකරණයෙන් මුදා හැරියේ නිසි සාක්ෂි නැතැයි කියමිනි. දුරකතන විශ්ලේෂණ වාර්තාවලට සිදුවූයේ කුමක්ද? 05.විවිධ අංශවලට දුන් විමර්ශන. ගල්කිස්ස අපරාධ අංශයෙන් ආරම්භ කළ විමර්ශනය 2009 නොවැම්බර් 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේය. 2010 ජනාධිපවරණයෙන් පසුව විමර්ශනය පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැවරුවේය. එවක ත්‍රස්ත විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා දැන් එහි අධ්‍යක්ෂවරයායි. අපරාධකරුවන් කිසිවෙකුත් හමු නොවූ විමර්ශන යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුවේ 2015 පත්වූ යහපාලන ආණ්ඩුවයි. වැදගත් සාක්ෂි රැසක් අනාවරණය කළ විමර්ශනය සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා දැන් රක්ෂිත බන්ධනාගාරයේයි. සහකාර පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතා ස්ථාන මාරු ලැබ සිටින අතරේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා රටත් හැර ගොස් සිටියි. මේ පසුබිම තුළ නැගෙන මූලික ප්‍රශ්ණ 5 ට පිළිතුරු ලැබී ලසන්ත වික්‍රමතුංග ඝාතන අභිරහස හෙළි වෙතැයි අපේක්ෂා කළ හැකිද? සහෘද මාධ්‍යවේදියෙකු වගේම ලසන්ත වික්‍රමතුංග මහතා එම්ටීවී, එම්බීසී සහ නිව්ස් ෆස්ට් මාධ්‍ය ජාලයේ හිටපු සාමාජිකයෙකි. සත්‍යය සැමදා වසන් කළ නොහැක, එය කෙදිනක හෝ අනාවරණය වනු ඇත.