සෞඛ්‍ය සේවකයින්ගේ විශේෂ සේවා මුර ක්‍රමය තවදුරටත්

සෞඛ්‍ය සේවකයින්ගේ විශේෂ සේවා මුර ක්‍රමය තවදුරටත්

by Staff writer 06-03-2021 | 2:17 PM

COLOMBO (News 1st) - කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබාදී ඇති විශේෂ සේවා මුර ක්‍රමය අප්‍රේල් 30 වැනි දා දක්වා වලංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ්‍ය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතේ දෙවන මාත්‍රාව 2021 අප්‍රේල් මාසය වනවිට එම කාර්ය මණ්ඩලයට ලබා දී අවසන් කිරීමට නියමිත බැවින් එම විශේෂ සේවා මුර ක්‍රමය අප්‍රේල් 30 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව, අප්‍රේල් 30 වැනි දා දක්වා සතියකට දින 02ක් විශේෂ නිවාඩු දිනයන් ලෙස සලකා මසකට දින 08කට නොවැඩි වන ලෙස සේවා මුර සකසා රෝහල් කටයුතු පවත්වා ගෙන යා යුතු වේ. එම නිවාඩු ලබා ගන්නා දිනයන් රාජකාරි දිනයක් ලෙස සලකා කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මේ අතර ලබන සඳුදා සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගේ අත්සන් ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් ඊයේ නිකුත් කෙරිණි. මහජන සේවා නිසි පරිදි පවත්වාගෙන යමින් රට යථා තත්ත්වයට ගෙන ඒමට කාලය එළැඹ ඇති බැවින් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ ය.