වැල්ලවත්තේදී බීමත් රියැදුරෙකු සිව්දෙනෙකු යට කරයි:එක් අයෙකු මරුට

by Staff writer 06-03-2021 | 7:15 AM

COLOMBO (News 1st) - වැල්ලවත්ත, මෙරීන් ඩ්‍රයිව්, රාජසිංහ මාවත අසළදී මෝටර් රථයකින් පුද්ගලයින් සිව් දෙනෙකු යට කරගෙන ගොස් තිබේ.

ඔවුන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මෝටර් රථයේ සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවය. ඔවුන් දෙදෙනාම බීමත්ව සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. අද අලුයම 5.45ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් පළමුව යතුරුපැදිකරුවෙකු යට කරගෙන ඉදිරියට ගමන් කර ඇති අතර ඉන් අනතුරුව තවත් තිදෙනෙකු යට ⁣කරගෙන ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඔවුන් කොළඹ පිහිටි සමාජ ශාලාවකින් මත්පැන් පානය කර යළි පැමිණෙන අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, සිද්ධියෙන් මියගිය පුද්ගලයා දේහය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙන බවය. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.