මාධ්‍යවේදී ලසන්තගේ දියණියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

''මගේ පියාට යුක්තිය ඉටු කිරීම ශ්‍රී ලංකා නායකයින් තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා" - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය

by Staff writer 06-03-2021 | 8:39 PM
COLOMBO (News 1st): තම පියා ඝාතනයට ලක්ව වසර 12 ක් ගතව ඇතැත් යුක්තිය ඉටු කිරීම ශ්‍රී ලංකා නායකයින් තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුග මහතාගේ දියණිය, අහිම්සා වික්‍රමතුංග මෙනවිය අමෙරිකාවේ ප්‍රමුඛතම පුවත්පතක් වන ද වොෂින්ටන් පෝස්ට් පුවපත්පතට පවසා තිබේ. පසුගිය 02 වැනිදා ද වොෂින්ටන් පෝස්ට් පුවත්පත පල කළ අහිම්සා වික්‍රමතුංග මෙනෙවියගේ ලිපියෙහි ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයත්, ඉන්පසුව සිදුවූ පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳවත් දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබේ. ඇය පවසන්නේ තම පියා මෙන්ම අන්නා පොලීඩ්කෝස්කා සහ ජමාල් කෂෝගි ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් දෙස බැලීමේදී, මාධ්‍යවේදීන් මරා දැමීම ලෝකයේ නැගී එන ඒකාධිපතීන්ගේ තවත් ස්වභාවයක් ලෙස පෙනී යන බවයි. සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයාව සිටි ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි0 8 වැනි දින උදෑසන අත්තිඩියේදී ඝාතනයට ලක්වූයේ සිය සේවා ස්ථානයට යන අතරවාරයේදීය. යතුරුපැදියකින් වික්‍රමතුංග මහතා ලුහුබැඳ පැමිණි දෙදෙනෙකු ඔහු වෙඩි තබා ඝාතනය කළ බව මුලින් ප්‍රකාශ විය. විමර්ශනවලදී අනාවරණ වූයේ ඝාතනයට ලක්වීමට පෙර සිය මෝටර් රථයේ තිබූ සටහන් පොතේ, තමන් ලුහුබඳන යතුරුපැදියක අංකයක් ලසන්ත වික්‍රමතුංග මහතා සටහන් කර තිබූ බවයි. මෙම ඝාතනයෙන් සති කිහිපයකට පසුව තවත් ප්‍රශ්නගත සිදුවීම් කිහිපයක්ම වාර්තා විය. ඉන් එක් සිදුවීමක් වූයේ 2009 පෙබරවාරී මාසයේදී වව්නියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පැහැර ගැනුණු තරුණයින් දෙදෙනෙකුගේ පිළිස්සුණු සිරුරු අනුරාධපුර, ගම්මිරිස් ගස්වැව ප්‍රදේශයේදී හමුවීමයි. පසුව වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදියක් අත්තිඩියේ වඟුරුබිමකින් ගොඩ ගැනුණි. විමර්ශන සිදුවන අතරවාරයේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ රියදුරු ද පැහැරගෙන ගොස් තිබූ අතර පසුව ඔහු මුදාහැර තිබුණි. ගල්කිස්ස පොලීසිය මූලික තොරතුරු මත පරීක්ෂණ ක්‍රියාත්මක කළත්, එය සාර්ථකව ඉදිරියට යන බවක් පෙනෙන්නට තිබුණේ නැත. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන විමර්ශනය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණ කරගනිමින් සිටින අතර එම විමර්ශන ද හදිසියේම පොලිස් ත්‍රස්ත විමර්ශන අංශයට පැවරුණි. දුරකතන විශ්ලේෂණ වාර්තා මත සිදුකළ විමර්ශන අනුව මෙම ඝාතනයට අදාලව 2010 වසරේදී ජේසුදාසන් නැමති අයෙකුද අත්අඩංගුවට ගැනුණු අතර ඔහු රක්ෂිත බන්ධනාගාරය තුළදී මියගොස් තිබුනේ 2012 වසරේදීය. කෙසේ වෙතත් 2015 ජනවාරි 08 වැනිදා ආණ්ඩු මාරුව සිදුවන තෙක් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ බවට කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුවූයේ නැත. 2015 දී නැවතත් මේ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලදී. ඒ අනුව එවක එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, පොලිස් අධිකාරි සිසිර තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය. 2016 සැප්තැම්බර් මාසයේදී මිහිදන් කර තිබූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර නැවත ගොඩගැනුණේ නැවතත් වෝහාරික පරීක්ෂණයක් සිදුකිරීම සඳහායි. මෙය වෙඩි තබා සිදුකළ ඝාතනයක් නොවන බව එම වෝහාරික පරීක්ෂණයෙන් තහවුරු විය. 2016 -2017 කාලසීමාවේදී සිදුකළ විමර්ශන අනුව මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන මහත්වරුන්ට පහරදුන් කණ්ඩායම සහ මෙම ඝාතනය අතර සබඳතාවක් ඇතැයි අනාවරණ කළ විමර්ශන කණ්ඩායම් උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සම්බන්ධයෙන් සැක මත අත්අඩංගුවට ගත් අයෙකු පසුව වික්‍රමතුංග මහතාගේ රියදුරු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස ද නම් කළේය. වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වන කාලසීමාවේ බුද්ධි අංශ මෙහෙයුම් සඳහා පවත්වාගෙන ගිය බව කියන කොළඹ ත්‍රිපොලි නැමති කඳවුරේ සේවය කළ සාමාජිකයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකළ අතර මෙම ඝාතනය පමණක් නොව මාධ්‍යවේදීන්ට පහරදීමේ සිදුවීම් වලට අදාල විමර්ශනද සම්බන්ධ කරගනිමින් එය ක්‍රියාත්මක විය. ඇතැම් අවස්ථාවල යුද හමුදාවේ කිහිපදෙනෙකු මේ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරියත්, ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නිශ්චිත සැකරුවෙකු නම් කිරීමට තවමත් නොහැකි වී තිබේ. මේ අතරවාරයේ ඝාතනය සිදුවන කාලසීමාවේ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ එවක එම ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ, සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාලවයි. එම නිලධාරීන්ද මේ වන විට ඇප මත මුදාහැර තිබේ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳ විමර්ශනය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනා වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග අදාල තනතුරුවලින් ඉවත් කෙරිණි. ශානි අබේසේකර මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අතර, සහකාර පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතා ස්ථාන මාරු ලබා සිටී. පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා මේ වන විට රටින් පලාගොස් ඇත්තේ විදෙස් රටක දේශපාලන රැකවරණය අපේක්ෂාවෙනි. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳ නඩු විභාගය නැවත කැදවීමට නියමිතව ඇත්තේ ලබන ජූනි 04 වැනි දිනයි. අමෙරිකාවේ ද වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අහිම්සා වික්‍රමතුංග මෙනවිය සඳහන් කර ඇත්තේ තවදුරටත් යුක්තිය ඉටුනොවීමේ තත්ත්වය තුළ ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරින් මිෂෙල් බැචලේ මහත්මියටද මේ සම්බන්ධව ලියා දන්වා ඇති බවයි. දොලොස් වසරක් ගතවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය තවමත් අභිරහසකි.