ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අවසන් ගමන් යයි

ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකරයන් දැයෙන් සමු ගනී..

by Staff writer 06-03-2021 | 7:02 PM

COLOMBO (News 1st) - හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී, ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරිණි.

ඔහු මිය යනවිට 60 හැවිරිදි වියේ පසුවිය. කලක සිට පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි බන්දුල ජයසේකර මහතා ඊයේ(05) අලුයම අභාවප්‍රාප්ත වූයේ කරාපිටිය රෝග නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර තිබුණේ බොරැල්ල ඒ.එෆ්.රේමන්ඩ් මල් ශාලාවේයි. විවිධ ක්ෂේත්‍රවලට අයත් බොහෝ දෙනෙකු ජයසේකර මහතාට අවසන් ගෞරව පුද කරන්නට පැමිණියේය. 1960 දෙසැම්බර් 29 වැනිදා කුරුණෑගලදී උපන් බන්දුල ජයසේකර මහතා, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු නවදිල්ලියේ ශ්‍රීමත් ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය හදාරා පසුව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව යන රටවල සේවය කළේය. ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙසත්, දි අයිලන්ඩ් පුවත්පතේ තීරු ලිපි සම්පාදකයෙකු ලෙසත් කටයුතු කළ බන්දුල ජයසේකර මහතා පසුකාලීනව සිරස මාධ්‍ය ජාලයට එක්ව විද්‍යුත් මාධ්‍යය ඔස්සේ ජනතාවට වඩාත් සමීප විය. හඬක් නැති අයට හඬක් වෙමින්, කිව යුතු දේ නොබියව කියමින් සන්නිවේදකයෙකු ලෙස මාහැඟි මෙහෙවරක් ඉටු කර සමු ගන්නා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාණෙනි, ඔබට නිවන් සුව..!