බටහිර පර්යන්ත ව්‍යා‌පෘතිය: ලංකා රජය ගැන ඉන්දීය රජයෙන් අනාවරණයක්

by Staff writer 06-03-2021 | 1:21 PM

COLOMBO (News 1st) - කොළඹ වරායේ බටහිර පර්යන්තයට අදාළ ආයෝජන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙරට රජය ඉන්දියාවේ අදානි සමාගම සමග සෘජුව සම්බන්ධ වී ඇති බව ඉන්දීය රජය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අනුරග් ශ්‍රී වාස්තව මේ බව පැවසුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින්. මෙහිදී ඉන්දියානු විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සදහා ඉන්දියානු අදානි සමූහ ව්‍යාපාරයේ ඉදිරිපත් කළ යෝජනාව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය තහවුරු කළ බවට ශ්‍රී ලංකාව කළ ප්‍රකාශය නිවැරිදි නොවන බවය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අනුරග් ශ්‍රී වාස්තව මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අදාළ ආයෝජකයින් සමග සෘජුව සම්බන්ධ වී ඇති බව තම වැටහීම බවයි. කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ඉන්දියානු සහ ජපාන රජය විසින් නම් කරන ලද පාර්ශ්වයන් සමඟ එක්ව පෞද්ගලික පොදු සීමිත සමාගමක් ලෙස සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇතැයි පසුගිය අඟහරුවාදා ආණ්ඩුව පැවසුවා. එහිදී වැඩිදුරටත් පැවසුවේ අදානි සමාගම සමග මෙම ආයෝජනය කිරීම ඉදිරිපත් කරන ලද යෝජනාවට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින්ද අනුමැතිය ලබා දී ඇති බවටයි. කොළඹ වරාය බටහිර පර්යන්තය සදහා අදානි සමාගම ඉදිරිපත් කළ ආයෝජන ව්‍යාපෘතියට කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇතැයි කැබිනට් තීරණ දැනුම් දෙමින් රජය කළ ප්‍රකාශය මවිතයට කරුණක් බව නිල රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පසුගියදා අවධාරණය කළේය.