කාදිනල් හිමිපාණන් ගොනු කළ පෙත්සම කැඳවයි

කඩු 6000 ක් ගෙන්වීම : කරුණු විමසා අධිකරණය දැනුවත් කරන බව නීතිපති කියයි

by Staff writer 05-03-2021 | 1:18 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරයේදී බෝම්බයක් පුපුරවා කිහිපදෙනෙකු ඝාතනය කර, තවත් පිරිසකට තුවාල සිදු කළ මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරුගේ අවශ්‍යතාව මත, කඩු 6000 ක් මෙරටට ආනයනය කර ඇතැයි, කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය. රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ඒ බව දැනුම් දුන්නේ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳ වූ අවස්ථාවේදියි. අභියාචනාධිකරණයේ විනිසුරු අර්ජුණ ඔබේසේකර හා මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම අද කැඳවනු ලැබි ය. විනිසුරු මඩුල්ල නියෝග කළේ, එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන 31 වැනිදා යළි කැඳවීමටයි. ආරක්ෂක අංශ සිදුකළ විමර්ශණවලදී මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරුගේ අවශ්‍යතාව මත මොහොමඩ් සෆ්රාස් නමැත්තා කඩු 6 000ක් ආනයනය කර ඇති බවත් , ඉන් කඩු 600 ක් රටතුළ බෙදා හැර ඇති ආකාරය හෙළි වී ඇතැත් සෙසු කඩු 5400 පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ දක්වා සොයා ගැනීමට ආරක්ෂක අංශවලට නොහැකි වී ඇති බවත් කාදිනල් හිමිපාණන් සිය පෙත්සමෙන් අධිකරණයට පෙන්වා දී තිබිණ.