by Staff writer 04-03-2021 | 4:55 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට දැඩි වචන ඇතුළත් විය යුතු බවට බටහිර යුරෝපය හා අනෙකුත් රටවල කණ්ඩායම පසුගියදා පැවති නිල නොවන සාකච්ඡාවකදී අවධාරණය කර ඇතැයි මාධ්‍ය අනාවරණය කරයි.
මාධ්‍ය වාර්තා කළේ, මාර්තු 01 වැනිදා සහ 02 වැනිදා මෙම නිල නොවන සාකච්ඡා පැවති බවයි.
ඩෙන්මාර්කය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ලිච්ටන්ස්ටයින් සහ අමෙරිකාව ඇතූළත් රටවල් බටහිර යුරෝපය හා අනෙකුත් රටවල කණ්ඩායම නියෝජනය කරයි.
මාධ්‍ය වාර්තාවලට අනුව මෙම රටවල් සැළසුම්ගත ආකාරයකට ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ඇති යෝජනාවලියේ අඩංගු වචන තවදුරටත් දැඩි විය යුතු බවයි.
එහිදී අමෙරිකාව, ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මානව හිමිකම් කවුන්සිල යෝජනාවේ ඇති ඡේදයට පිටුවහල් නොහොත් EXTRADITION යන වචනය ඇතුළත් විය යුතු බවට දැඩි ලෙස අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත් මානව හිමිකම් කඩකලබවට චෝදනා නගමින් පුද්ගලයින් නම් කිරීමත් ශ්‍රී ලංකාව ඉලක්ක කර චෝදනා එල්ල කිරීමත් හෙලා දකින් චීනය අවධාරණය කළේ, කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට සහය දෙන බවයි.