ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානියා හා අගමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවට ඉදිරියටත් සහය දැක්වීමට සූදානම් - ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානීවරයා අගමැතිට කියයි..

by Staff writer 04-03-2021 | 7:22 AM

COLOMBO (News 1st) - ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

ඒ, අරලියගහ මන්දිරයේදීය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානීවරයාගේ නිල සංචාරය අතරතුර මෙම හමුව සිදු විය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලීන ආරක්ෂක සහයෝගිතාවයක් ඇති අතර එය ත්‍රස්තවාදයට එරෙහි වීම, සමුද්‍රීය ආරක්ෂාව හා මත්‍ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පුරා විහිදී තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසීය. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මෙම හමුවේදී දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් පුළුල් කළ හැකි බව ඉන්දීය හමුදා ප්‍රධානීවරයා පෙන්වා දුන් බවයි. ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ඉන්දියානු ගුවන් හමුදාව ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට සූදානම් බවයි.