පළමු 20යි 20 තරගයේ ජය කොදෙව්වන්ට

අකිල ධනංජයගෙන් කඩුලු ත්‍රිත්වයක්:පොලාර්ඩ්ගෙන් ඕවරයකදී හයේ පහර 6ක්:පළමු තරගයේ ජය කොදෙව්වන්ට..

by Chathuranga Rajapaksha 04-03-2021 | 7:57 AM

News 1st - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු පන්දුවාර 20යි 20 තරගයේදී අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.

ඒ, ඔහුගේ දෙවන පන්දුවාරයේ දෙවන, තුන්වන සහ සිව්වන පන්දුවලදීය. ඒ අනුව, එවින් ලුවිස්, ක්‍රිස් ගේල් සහ නිකලස් පූරන් අකිලගේ පන්දු යැවීම හමුවේ දැවී ගියේය. මේ අතර අකිලගේ 03වන පන්දුවාරයේදී බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාර්ඩ් හයේ පහර 6ක් එල්ල කිරීමට සමත් විය. පන්දු 11කදී ලකුණු 38ක් ලබාගත් පොලාර්ඩ් තරගයේ වීරයා සම්මානය ද හිමි කර ගත්තේය. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 4ක පහසු ජයක් හිමි විය. කාසියේ වාසිය හිමි කරගත් කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය. තරගය මෙරට වේලාවෙන් අද(04) අලුයම ඇන්ටිගුවාහිදී ආරම්භ විය. මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක සහ අ⁣ෂේන් බණ්ඩාර පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග වරම් දිනා ගත් අතර කොදෙව් කණ්ඩායමට සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ද කැඳවා තිබීම විශේෂත්වයකි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 131ක් පමණි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 33යි, පැතුම් නිස්සංක ලකුණු 39ක් ලබා ගත්තේය. ධනුෂ්ක ගුණතිලක ලකුණු 4කට දැවී ගිය අතර නායක ඇන්ජලෝ මැතිව්ස්ට ලබාගත හැකි වූයේ ලකුණු 5ක් පමණි. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් ක්‍රීඩකයින් පන්දුවාර 13යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. ක්‍රිස් ගේල් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වීමද විශේෂත්වයකි. ජේසන් හෝල්ඩර් ලකුණු 29ක් ලබා ගත්තේය. වනිදු හසරංග කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. තරග 2කින් සමන්විත පන්දුවාර 20යි 20තරගාවලිය තරග 1-0ක් ලෙස මේ වනවිට කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් සිටී. දෙරට අතර මීළඟ තරගය ලබන 6වැනිදා පැවැත්වේ.