බටහිර පර්යන්තය ගැන කැබිනට් තීරණය දැක මවිතයට පත් වුණා - ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

by Staff writer 03-03-2021 | 4:08 PM

COLOMBO (News 1st) - කොළඹ වරායේ බටහිර පර්යන්තය සඳහා අදානි සමාගම ඉදිරිපත් කළ ආයෝජන ව්‍යාපෘතියට කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇතැයි කැබිනට් තීරණ දැනුම් දෙමින් රජය ඊයේ කළ ප්‍රකාශය මවිතයට කරුණක් බව නිල රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අද අවධාරණය කර තිබේ.

එම ආරංචි මාර්ග කියා සිටියේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය ආයෝජන තීරණය කරන්නේ ශ්‍රී ලංකා රජය මිස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නොවන බවයි. බටහිර පර්යන්තය සඳහා අදානි පෝර්ට් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් සමාගම ඉදිරිපත් කළ යෝජනාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබුණු බව ඊයේ නිකුත් කළ කැබිනට් තීරණ දැනුම්දීමේ නිල නිවේදනයේ සඳහන් විය. එහි දැක්වුණේ කැබිනට් මණ්ඩලය පත් කළ සාකච්ඡා කමිටුව ආයෝජකයින් ඉදිරිපත් කරන්නැයි ඉන්දියා හා ජපාන තානාපති කාර්යාලවලට දැනුම්දුන් නමුත් ජපානය යෝජනා ඉදිරිපත් නොකළ බවයි.