උපකුලපතිවරුන් සහ අගමැති අද සාකච්ඡාවක

විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අගමැති අතර අද විශේෂ සාකච්ඡාවක්

by Staff writer 02-03-2021 | 7:25 AM

COLOMBO (News 1st)  - විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, අද(02) පස්වරු 5.00 ට අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි. විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීම හමුවේ , විශ්වවිද්‍යාල පවත්වා ගෙන යෑමට ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව සභාපතිවරයා පෙන්වා දෙන්නේය. ඔහු පැවසුවේ, මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල පවතින ගොඩනැගිලි සංඛ්‍යාව ද ප්‍රමාණවත් නොවන බවය. මේ පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති. විශ්වවිද්‍යාල සඳහා පළමුවරට වැඩිම අතිරේක සිසුන් සංඛ්‍යාවක් මේ වසරේදී බඳවා ගෙන ඇති අතර, එම සංඛ්‍යාව 10,600කි. ඒ අනුව, මේ වසර සඳහා විශ්වවිද්‍යාලවලට බඳවා ගෙන ඇති සමස්ත සිසුන් ගණන 42,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.