චීනය හම්බන්තොටදී නැව්වලට තෙල් සැපයුම අරඹයි

හම්බන්තොට වරායේ නැව් සඳහා චීනය තෙල් තොග සැපයුම අරඹයි..

by Staff writer 01-03-2021 | 9:10 PM

COLOMBO (News 1st) – ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේ ඉන්දියාව සමග හවුල් ව්‍යාපාරයක් ලෙස තෙල් ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුලපුරා තිබේ.

එහි පළමු අදියරේ ඉදිකිරීම් සදහා වරාය පරිශ්‍රයෙන් අක්කර 100 ක ප්‍රමාණය ලබා දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනටමත් එකඟ වී ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා අප කළ විමසීමකදී කියා සිටියේය. ඔහු පැවසුවේ දකුණු ආසියානු තෙල් ගබඩා සංකීර්ණ ව්‍යාපෘතියට අදාලව වරාය අධිකාරිය සමග ලබන සතියේදී අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීමට නියමිත බවය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා
"මේක අක්කර 200 ක 300 ක නෙවෙයි සමහර විට විශාලම ව්‍යාපෘතියක් වෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව වෙන්නේ.අපි අක්කර 100 කින් ආරම්භ කරනවා. ඉන්දියානු තෙල් සමාගමත් එක්කත් අපි සාකච්ඡා කරනවා මේ ආයතන ගණනක් එක්ක සාකච්ඡා කරලා මේ රටට වාසිදායක වන ලෙස විශාල ව්‍යාපාරයක් ආරම්භ කිරීම සහ ක්‍රියාත්මක කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. හම්බන්තොට අපි ඇත්ත වශයෙන්ම අපේ රටේ ඉන්ධන අවශ්‍යතාවය සදහා ඉන්ධන ආනයනය කරන්න අපි වැඩිපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ.අපි හම්බන්තොට වරායට ආසන්නයේ දැනටමත් මහවැලි අධිකාරිය සතු අක්කර 100 ක ප්‍රමාණයක් අපි ඉල්ලලා තියෙනවා.අපි ඒ ඉඩම හදුනගෙන තියෙනවා.ඒ ඉඩම අපිට ලබාදෙන්න එක වෙලාත් තියෙනවා"
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දේශීය ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් හම්බන්තොට වරාය ආශ්‍රිතව එවැනි ව්‍යාපෘතියකට මුල පුරද්දී චීනයට 99 අවුරුද්දකට බදු දුන් හම්බන්තොට වරාය සමාගම වෙළෙඳ නැව් සදහා ඉන්ධන තොග සැපයුම මේ වනවිට ආරම්භ කර තිබේ. හම්බන්තොට වරාය සමූහය මේ ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ, චීනයේ ප්‍රමුඛතම බලශක්ති සමාගමක් වන සිනොපෙක් සමාගමේ මෙරට නියෝජිත සමාගම වන සිනොපෙක් ලංකා සමාගම සහ දේශීය හවුල්කරුවෙකු සමග එක්වයි. පාවෙන ඉන්ධන ගබඩා යොදාගෙන ඔවුන් මේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ව්‍යාපාරය ආරම්භ කරමින් මුලින්ම තොග වශයෙන් ඉන්ධන ලබාගෙන තිබුනේ සූවස් සිට චෙන්නයි දක්වා යාත්‍රාකල ඉන්ධන ප්‍රවාහන නෞකාවකි. උසස් තත්ත්වයේ නිශ්පාදන සහ ආරක්ෂිත සේවාවන් සැපයීම තුළින් හම්බන්තොට වරාය දකුණු ආසියාවේ ඉන්ධන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාව බව චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතියට අදාල ට්ව්ටර් ගිණුමේ දක්වා තිබුණි.