සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව ලේකම් කාර්යාලයක්..

පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවයි

by Staff writer 01-03-2021 | 5:42 PM

COLOMBO (News 1st) – ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්‍ෂක උපදේශක ලේකම් කාර්යාලය අද(01) කොළඹදී විවෘත කෙරිණි.

ඒ, ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී ය. ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශවික සමුළුවේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්‍ෂක උපදේශක ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණු බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මෙන්ම ඉන්දියාවේ සහ මාලදිවයිනේ ආරක්‍ෂක උපදේශකයන් ද විවෘත කිරීමේ උත්සවයට සහභාගී විය. ඉන්දියානු සාගරය ලෝකය තුළ සුවිශේෂ ස්ථානයක් වන බැවින් සමස්ත ලෝකයටම මෙම ප්‍රයත්නය තුළින් ප්‍රතිලාභ ලැබෙනු ඇති බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය කොළඹගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය. නාවික හමුදාපති වයිස් අද්මිරාල් උළුගේතැන්න මහතා සඳහන් කළේ, මෙම අංග සම්පූර්ණ නව ලේකම් කාර්යාලය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවයි. ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශවික සමුළුව 2020 නොවැම්බර් 27 සහ 28 යන දිනවල කොළඹදී පැවැත්විය . බංග්ලාදේශය, සීෂෙල්ස් සහ මොරිෂස් යන රටවල් නිරීක්‍ෂණ රාජ්‍යයන් ලෙස සමුළුව නියෝජනය කරනු ලැබුවේ ය.