නීතී සිසුවාට පහර දීම: විමර්ශන වෙනත් ඒකකයකට

නීතී ශිෂ්‍යයෙකුට⁣ පොලීසියේදී පහර දීම: විමර්ශන කටයුතු වෙනම ඒකකයකට දෙන්නැයි නියෝග..

by Staff writer 01-03-2021 | 4:30 PM

COLOMBO (News 1st) – නීතී ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසියේ ඇතිවූ සිදුවීමට අදාළ විමර්ශන කටයුතු පෑලියගොඩ පොලීසියෙන් ඉවත් කර වෙනම විමර්ශන ඒකකයකට භාරදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය මහතා අද පොලිස්පතිවරයාට නියෝග කළේ ය.

පෑලියගොඩ පොලීසිය තුළදී නීතී ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පහරදීමට අදාළ පැමිණිල්ලක් හා මිගාර ගුණරත්න මහතා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි කියන සිද්ධියට අදාළව පැමිණිලි 2 ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙමින් තිබේ. අදාළ සිද්ධියේ විමර්ශන කටයුතු වෙනම විමර්ශන ඒකකයකට භාරදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය මහතා අද පොලිස්පතිවරයාට නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරුන් පෙන්වා දුන් කරුණු අනුවයි. එම පැමිණිලි දෙක අද දින විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මිගාර ගුණරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර පොලීසිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්ද මහතා පෙනි සිටියේ ය. ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය ලබන 15 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.