කොරෝනා වැළඳී මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 6ක්

කොරෝනා වැළඳී මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 6ක්

by Sagarika Chathumali 01-03-2021 | 8:31 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා මරණ 7ක් වාර්තාවීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළ ගියේ ය.

මිය ගිය සියලු දෙනා වයස අවුරුදු 50 ඉක්මවූවන් වන අතර පිරිස අතර පිරිමි පුද්ගලයෝ 6 දෙනෙක් වෙති. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව එක් පුද්ගලයෙකු නිවසේදී මිය ගොස් ඇති අතර ඉතිරි සියලු දෙනා මිය ගොස් ඇත්තේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියගිය අය අතර කුරුණෑගල පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද වන අතර ඔහු මියගොස් ඇත්තේ, කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 26 වනදා නිවසේදී මියගොස් ඇති අතර පසුව ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන තිබේ. ගම්පහ ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු ද කොරෝනා ආසාදිතව මිය ගොස් ඇති අතර ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දොම්පේ දිස්ත්‍රික් රෝහලේ සිට ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරු කර එවීමෙන් පසුවයි. දෙමළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද කොරෝනා ආසාදිතව සිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර හෝමාගම රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති මොහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් නියුමෝනියාව සහ පිළිකා රෝගී තත්ත්වයකි. ඊයේ වාර්තා වූ මරණ අතර පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි පුද්ගලයෙකු ද වේ. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මහනුවර ජාතික රෝහලට මාරුකර යැවීමෙන් පසුවයි. කොරෝනා වැළඳී මියගිය අනෙක් පිරිමි පුද්ගලයා කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු  (81) වන අතර කොළඹ ජාතික රෝහලේදී කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම රෝහලට මාරු කර යැවීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත. වාර්තාවූ මරණකරුවන් අතර සිටින කාන්තාව රැක්ගහවිල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි තැනැත්තියක වන අතර ඇය මියගොස් ඇත්තේ, හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.