මනුෂ්‍ය ඝාතනයකට කුකුළෙකු අත්අඩංගුවට..

මනුෂ්‍ය ඝාතනයකට කුකුළෙකු අත්අඩංගුවට..

by Chathurika Jayasundara 28-02-2021 | 1:49 PM

COLOMBO (News 1st) –  පොර කුකුළු ප්‍රහාරයක් හේතුවෙන් 45 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය වීමේ සිද්ධියක් ඉන්දියාවේ, තෙලගානා ප්‍රාන්තයෙන් වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නීති විරෝධී පොර කුකුළු සටනක් අතරතුරදී මෙය සිදුව තිබේ. එරට මාධ්‍ය සඳහන් කරන්නේ, සටන අතරතුර කුකුළා එම ස්ථානයෙන් පැන යාමට තැත් කිරීමේදී ඌ අල්ලා ගැනීමට ගත් උත්සාහයකදී කුකුළාගේ පාදයේ ගැට ගසා තිබූ පිහිය එම කුකුළාගේ හිමිකරුගේ ශරීරයේ වැදී ඇති බව යි. සිද්ධිය වූ විගස එම පුද්ගලයා රෝහලට රැගෙන යාමට උත්සාහ කළ නමුත් ඒ අතරතුරදී පුද්ගලයා මිය ගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අදාළ කුකුළා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට පත් කුකුළා පොලිස් රැකවරණය යටතේ තබා, සාක්ෂියක් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. අදාළ පොර කුකුළු ප්‍රහාරයට සහභාගී වූවන්ගේ හා සංවිධානය කළ පිරිසගේ නොසැලකිලිමත් බව නිසා මෙම මරණය සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම පොර කුකුළු ප්‍රහාරය සඳහා පුද්ගලයින් 15 දෙනෙකු පමණ සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.