ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් රත්නපුරයෙන්

ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් රත්නපුරයෙන්..

by Chathurika Jayasundara 28-02-2021 | 12:31 PM

COLOMBO (News 1st) : අද(28) උදෑසන වනවිට මෙරටින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 460 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එලෙස හඳුනාගත් ආසාදිතයින් අතරින් 35 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. අනෙක් ආසාදිතයින් සියලුදෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 82,889 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතුරින් වැඩිම ආසාදිතයින් පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 62 කි. මීට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.   වෛරසය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 4053 කි. තවත් කොරෝනා ආසාදිතයින් 748 දෙනෙකු ඊයේ සුවය ලබා තිබේ. ඒ සමග කොරෝනා වෛරසයෙන් සුවය මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 78,372 කි. ගත වූ දිනයේ කිසිදු මරණයක් වාර්තා වී නොමැති අතර මේ වනවිට කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 464 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. කොරෝනා මර්දන එන්නත්කරණය මේ වනවිට සිදුවන අතර ඊයේ (27) දිනය වනවිට කොරෝනා මර්දන එන්නත ලබා ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 441,976කි. ඊයේ(27) දිනය තුළ පමණක් පුද්ගලයින් 35,343 දෙනෙකු කොරෝනා මර්දන එන්නත ලබා ගෙන ඇතැයි සඳහන් ය.