''සහරාන් ගැන හැමෝටම වැඩිය දන්නේ ගෝඨාභය රාජපක්ෂ''

''සහරාන් ගැන හැමෝටම වැඩිය දන්නේ ගෝඨාභය රාජපක්ෂ..'' - නිරෝෂා අතුකෝරළ

by Staff writer 27-02-2021 | 8:39 PM

COLOMBO (News 1st) – ''මම විශ්වාස කරනවා සහරාන් ගැන මේ හැමෝටම වැඩිය දැන් ඉන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දන්නවා කියලා''

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම ප්‍රකාශය කරනු ලැබුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරළ මහත්මියයි. පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන වාසි ගත් මේ ආණ්ඩුව සිටිනවා ද යන්න සැකයක් මතුව ඇතැයි ද ඇය පැවසුවාය. සහරාන්ට පඩි ගෙවූ බවට එවටකට සිටි ආණ්ඩුව විසින්ම පිළිගත් බව ද ඇය මෙහිදී අවධාරණය කළාය. ඇය සඳහන් කරන්නේ , එවකට සිටි ආරක්ෂක ලේකම් හා ආරක්ෂක අමාත්‍යාංශය නිලධාරීන්ව මෙම කොමිෂන් සභාවට කැඳවා නොමැති බවයි.
''දැන් ඉන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෝඨාභය ජනාධිපතිතුමගෙන් ප්‍රශ්න කළා ද කොමිෂන් සභාව? සහරාන්ගෙන් ප්‍රශ්න කළේ නැහැ.එතකොට අපි හැමෝටම වැඩිය දන්න එවකට ආරක්ෂක ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය නිලධාරීන්ව මේ කොමිෂන් සභාවට කැඳෙව්වේ නැහැ''
සයින්දමරු බෝම්බ පිපිරීමෙන් සාරා නැමති කාන්තාව මිය ගොස් නොමැති බවත් , ඇය ඉන්දියාවට පලා ගොසින් ඇති බවත්, එසේ පලා යාමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳව ඇය එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රශ්න කරමින් කියා සිටියාය. ඉන්දියාවට පලා ගොස් සිටින සාරා නැවත ලංකාවට නොගෙන්වන්නේ කුමන කාරණාවක් නිසා ද යන්නත් ඇය එහිදී ප්‍රශ්න කරමින් අවධාරණය කළාය. හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරළ මහත්මිය එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය.
''මොකද සහරාන්ගේ බිරිඳ කියලා තියෙනවා මේ සම්බන්ධව ඇයට වැඩිය තොරතුරු දන්නේ සාරා ජෙස්මින් කියලා. මොකද මරාගෙන මැරෙන කල්ලියේ ඉතුරු වුණු එකම කෙනා සාරා ජෙස්මින්. හැබැයි සාරා ජස්මින්ව ඇයි ලංකාවට කැඳවන්නේ නැත්තේ?"