වසර 2 කට පසු ක්‍රිස්ගේල් කැඳවයි..

ශ්‍රී ලංකාව සමග ක්‍රිකට් තරගාවලියට කොදෙව් සංචිතය නම් කරයි: වසර 2 කට පසු ක්‍රිස්ගේල් කැඳවයි

by Staff writer 27-02-2021 | 8:55 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලි සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිත මේ වනවිට නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියට පන්දුවාර 20 යි 20 තරග 3 ක් , එක්දින ජාත්‍යන්තර තරග 3 සහ ටෙස්ට් තරග 2 ක් ඇතුළත් ය. පළමු තරගය 20 යි 20 තරගයක් වන අතර එය මාර්තු මස 3 වැනිදා ඇන්ටිගුවාහී දී ආරම්භ වීමට නියමිත ය. ඊට බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත් ය. කිරන් පොලාඩ් නායකත්වය ලබාදෙන කොදෙව් කණ්ඩායමේ උප නායකයා නිකලස් පූරන් ය. සුපිරි පිතිකරු ක්‍රිස්ගේල් සහ වේග පන්දු යවන ක්‍රීඩක ෆිදෙල් එඩ්වර්ඩ්ස් සංචිතයට යළි කැඳවා තිබීම විශේෂත්වයකි. ක්‍රිස්ගේල් 20 යි 20 ජාත්‍යන්තර තරගයකදී කොදෙව් කණ්ඩායම නියෝජනය කරන්නේ වසර 2 කට පසුව ය. මේ අතර එක්දින තරගාවලිය සඳහා වන කොදෙව් සංචිතය ද ප්‍රකාශයට පත් කර තිබේ. එක්දින සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත් අතර කණ්ඩායම මෙහෙය වන්නේ , කිරන් පොලාඩ් ය. එක්දින ක්‍රිකට් තරගාවලිය මාර්තු 10 වැනිදා ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.