විදෙස්ගත ලාංකිකයින්ට නිරෝධායන මධ්‍යස්ථාන

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර

by Staff writer 27-02-2021 | 12:37 PM

COLOMBO (News 1st) - විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නිරෝධායනය සඳහා මධ්‍යස්ථාන පිහිටුවීමට විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එහි ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා සඳහන් කළේ, මේ වනවිට දිවයින පුරා එවැනි මධ්‍යස්ථාන 100 කට අධික සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බවයි. ඒ, දිස්ත්‍රික් ලේකම්වරුන් මගිනි. අදාළ මධ්‍යස්ථානවලට හෝටල්, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ස්ථාන ද ඇතුළත් බව ඔහු පැවසුවේ ය. එම ස්ථාන නිරෝධායනයට සුදුසු දැයි, තීරණය සඳහා මේ වනවිට ඒ පිළිබඳ සියලු විස්තර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට සහ කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් වෙත යොමු කර ඇතැයි ද ලේකම්වරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, එම තීරණ ලද විගස අදාළ ස්ථානවලින් අනුමැතිය හිමිව ඇති ස්ථාන නිරෝධායන මධ්‍යස්ථාන ලෙස සකස් කිරීමට පියවර ගන්නා බවයි. විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේ, තවත් විදෙස්ගත ශ්‍රමිකයින් 21,000කට අධික පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් ලියාපදිංචි වී ඇති බවයි. ඒ අනුව කුවේට්, කටාර් හා ඩුබායි ඇතුළු රටවල් 14 ක රැඳි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මෙරටට පැමිණීමට නියමිත වේ.