ජමාල් ඛෂෝගි ඝාතනය ගැන හෙළිදරව්වක්

මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය සෞදි කුමරුගේ අනුමැතියෙන් සිදුවූ බවට හෙළිදරව්වක්

by Staff writer 27-02-2021 | 9:24 AM

News 1st - මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය කර ඇත්තේ සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරුගේ අනුමැතියෙන් බව අමෙරිකාව පවසයි.

ඒ, ජමාල් ඛෂෝගි ඝාතනය පිළිබඳ බුද්ධි අංශ වාර්තාවක් නිකුත් කරමිනි. ජෝ බයිඩ්න් පරිපාලනය යටතේ නිකුත් කෙරුණු ආදළ වාර්තාවෙන් කියැවෙන්නේ, ජමාල් ග්‍රහණයට ගැනීම හෝ ඝාතනය කිරීම, සෞදි කුමරු අනුමත කළ බවය. මොහොමඩ් බීන් සල්මාන් කුමරුගේ අනුමැතිය මත ඝාතනය සිදු වූ බව තහවුරු කිරීමට අමෙරිකානු බුද්ධි අංශ ප්‍රධාන කරුණු 3 ක් පෙන්වා දෙයි. 1. සල්මාන් රජු සෞදියේ පාලකයා වුව ද 2017 වසරේ සිට එරට පරිපාලනමය තීන්දු ගැනීමේ බලය කුමරුට පවරා තිබීම 2. කුමරුගේ උපදේශකයෙකු මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයින් සිද්ධියට සෘජුව සම්බන්ධ වීම 3. සෞදිය පිළිබඳ ජාත්‍යන්තරයේ පවතින විවේචන තුරන් කිරීම සඳහා කුමරු මීට පෙර ද ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ග ගැනීම එම කරුණු තුනයි. කෙසේ වෙතත් අමෙරිකාව නිකුත් කළ අදාළ වාර්තාව සෞදි ඔටුන්න හිමි කුමරු ප්‍රතික්ෂේප කර තිබේ. තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී අමානුෂික අයුරින් මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය කර තිබුණේ 2018 වසරේ ඔක්තෝබර් 02 වැනි දායි. ඝාතනයට වරදකරුවන් වූ පුද්ගලයින් 5 දෙනෙකුට මරණ දඬුවම සහ තවත් 3 දෙනෙකුට සිර දඬුවම් නියම කිරීමට සෞදි අධිකරණයක් පසුගිය වසරේ නියෝග කළේ ය. එහෙත්, එම නඩු විභාගය යුක්තිය යටගැසීමක් බවට ජාත්‍යන්තරයෙන් දැඩි චෝදනා එල්ල විය. කෙසේ වෙතත් අමෙරිකානු බුද්ධි වාර්තාවේ සඳහන් වන්නේ, සිද්ධියට වගකිවයුතු සියලු පුද්ගලයින්ගේ නම් ඉදිරියේදී හෙළිදරව් කරන බවයි.