අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙකු කොටු..

අයිස් මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂ 15ක මුදල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

by Hashini De Mel 27-02-2021 | 11:52 AM

COLOMBO (News 1st) - අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750ක් සමග පුද්ගලයෙකු රාගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ(26) කළ වැටලීමකදීය. සැකකරු සන්තකයේ රුපියල් පහලොස් ලක්ෂ විසිදහසක මුදලක් ද තිබූ බව පොලීසිය සඳහන් කළේය. පොලීසිය පැවසුවේ, එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇති බවයි. සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව හෙරොයින් කිලෝග්‍රෑම් 1 ක් සමග කාන්තාවක් ද දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකාරිය ද වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී තිබේ. මේ අතර කොටහේන ප්‍රදේශයේදී ද අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශය කළ මෙහෙයුමකිනි. සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 46 ක්. ඔවුන් ජම්පටා වීදිය හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.