කොමිසමේ වාර්තාව:කමිටුව බදාදා රැස්වෙයි

අප්‍රේල් 21 ප්‍රහාරය: කොමිසමේ වාර්තාව අධ්‍යනයට පත් කළ අනුකමිටු ලබන බදාදා යළි රැස්වෙයි

by Staff writer 27-02-2021 | 4:09 PM

COLOMBO (News 1st) –  අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අධ්‍යනය කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ලබන බදාදා යළි රැස්වීමට තීරණය කර තිබේ.

එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, කමිටුවේ වාර්තාව ලබන 15 වැනි දා ට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අපේක්ෂා කරන බවයි. ලබන බදාදා පැවැත්වෙන රැස්විමේදී කමිටුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය. එහි ප්‍රකාශකයා පැවසුවේ, මීට පෙර අවස්ථා දෙකකදී මෙම කමිටුව රැස් වූ අතර එහිදී කමිටුව අදාළ වාර්තාව සම්බන්ධයෙන් මූලික අධ්‍යනයක් සිදු කළ බවයි. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් වාර්තාවේ ඇතුළත් කරුණු සහ නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළ යුතු ආකාරය වාර්තා කිරීම සඳහා මෙම කැබිනට් අනුකාරක සභාව පත් කෙරුණි. අමාත්‍ය චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් කමිටුවේ සාමාජිකයින් ය. මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යනය කිරීමට සමගි ජනබලවේගය කමිටුවක් පත් කර තිබේ. ඒ, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය, තිසත් විජේගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉමිතියාස් බාකීර් මාකර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනු ඇති.