කොරෝනා මරණ භූමදාන ක්‍රමවේදය ඉදිරි සතියේදී

කොරෝනා මරණ භූමදාන කළ යුතු ක්‍රමවේදය ඉදිරි සතිය තුළ..

by Staff writer 27-02-2021 | 7:37 AM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කළ යුතු ක්‍රමවේදයන් ලබන සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වෙන බවය. ඒ, විශේෂඥ කමිටුවේ ද සහභාගීත්වයෙනි. අදාළ ක්‍රමවේදයන් කරුණු රැසක් මත පදනම්ව සකස් කෙරෙන බව ද ඔහු පැවසුවේ ය. එහිදී ජල මූලාශ්‍ර පිහිටි ප්‍රදේශ, ඊට ඇති දුර, භූමදානය සඳහා සකස් කෙරෙන වලක ගැඹුර, මෘත දේහ ප්‍රවාහනය කළ යුතු ආකාර මෙන්ම ප්‍රවාහනයේදී පොලිස් ආරක්ෂාව ලබා දිය යුතු ද යන්න ඇතුළු කරුණු රැසක් පිළිබඳ අවධානයට ලක් කෙරෙනු ඇති. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, එවැනි ස්ථාන හඳුනා ගැනීම ද කඩිනමින් සිදු කරන බවයි. ඒ සඳහා, අවශ්‍යතාව අනුව, ජල සම්පාදන මණ්ඩලය ඇතුළු ආයතන සමග ද ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය. මේ අතර මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය 25 වැනි දා මධ්‍යම රාත්‍රියේ නිකුත් විය. අදාළ ගැසට් නිවේදන මගින් පෙර සදහන් වූ මෘත දේහය ආදාහනය කිරීම යන වචනය වෙනුවට මෘත දේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම යන්න සංශෝධනය කර තිබේ. ඒ අනුව අදාළ තැනැත්තාගේ මෘත දේහය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධානවලට අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක අදාළ බලධාරියාගේ අධීක්ෂණය යටතේ භූමදානය කළ යුතුයි.