අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 26-02-2021 | 4:02 PM

COLOMBO (News 1st) – විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද දහවල් අභාවප්‍රාප්ත විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කලක් රෝගාතුරව සිටි ඒ මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බවයි. 1953 වසරේ ජනවාරි 07 වැනිදා අනුරාධපුරයේදී උපන් අනුර සේනානායක මහතා මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 1973 වසරේ ඔක්තෝබර් 15 වැනිදා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ඔහු පොලිස් සේවයට එක්වන්නේ සිය පියාගේ අඩිපාරේ යමින් ය. අපරාධ කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාස, පොලිස් ප්‍රවාහන කොට්ඨාසය ඇතුළු අංශ කිහිපයක අධ්‍යක්ෂ ධුරය හෙබ වූ ඔහු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේ ය. 43 වසරක් මහජන ආරක්ෂාව වෙනුවෙන් කැපවූ අනුර සේනානායක මහතා ශ්‍රී ලංකා පොලීසීයේ කීර්තිමත් නිලධාරියෙකි. ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අංක 53 මාදින්නාගොඩ පාර, රාජගිරිය යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ. අභාවප්‍රාප්ත අනුර සේනානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිත ය.