සාරා ගැන කිසිදු අවධානයක් යොමු කර නැහැ..

පාස්කු ප්‍රහාරය: සාරා ගැන ජනාධිපති කොමිසමේ වාර්තාවේ කිසිදු අවධානයක් යොමු කර නැහැ - ශ්‍රීලනිප විධායක සභාව

by Staff writer 26-02-2021 | 11:14 AM
COLOMBO (News 1st): මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු වූ මොහම්මදු මොහොමදු හස්තූන්ගේ බිරිඳ සාරා නොහොත් පුලස්තිනි රාජේන්ද්‍රන් ඉන්දියාවට පළා යාම පිළිබඳව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව කිසිදු අවධානයක් යොමු කර නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අවධාරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, කොමිසම අනාවරණය කර ගත හැකිව තිබු තොරතුරු ද නොසලකා හැර ඇති බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර නාමල් කුමාර නැමැත්තෙකු කරළියට පැමිණ මෛත්‍රීපාල සිිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව හෙළි කිරීම හා ඒ සම්බන්ධයෙන් විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රබල මැදිහත් වීම මත මුදා හැරීම ද කොමිසමේ අවධානයට ලක්ව නැතැයි නිවේදනයේ සඳහන් විය. ජනාධිපතිවරයෙකු ව්‍යවස්ථාවෙන් පැවරි ඇති බලතල ක්‍රියාත්මක නොකිරීම කිසිසේත් ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට කරුණක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අවධාරණය කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා විධායක සභාව පෙන්වා දෙන්නේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිව සිය වගකීම් ඉටු කර ඇතැයි වාර්තාවෙන්ම පැහැදිලි වන බවයි. ඔහුට එරෙහිව කිසිදු අපරාධ නඩුවක් පැවරීමට නීතිමය වශයෙන් හෝ කරුණු වශයෙන් ඉඩක් නැතැයි ද විධායක සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් විය. සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමස්ත ලංකා විධායක සභාව සඳහන් කර ඇත්තේ, කොමිෂන් සභාව ඔවුන්ට පැවරූ බල සීමාව තුළට නොවැටෙන එයින් ඔබ්බට ගිය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. රාජ්‍ය සේවකයින්, නිලධාරීන් වශයෙන් සිටි හෝ දැනට සිටින තැනැත්තන් මෙම සිද්ධිදාමයට සෘජුව හෝ වක්‍රව සබඳතා ඇත්දැයි සොයා වාර්තා කිරීමට කොමිසම නියෝග කර ඇති බව නිවේදනයේ දැක්වේ. කොමිසමට දුන් බලතල තුළ කිසිසේත්ම රාජ්‍ය නායකයා හෝ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ ක්‍රියාකලාප ඔවුන් වෙත පැවරී ඇති ව්‍යවස්ථාමය වගකීම් ක්‍රියාත්මක කිරීමට අදාළව හෝ පැහැර හැරීම පිළිබඳව පරීක්ෂා කිරීමට කිසිදු බලයක් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා විධායක සභාව පෙන්වා දෙයි. නිවේදනයේ දැක්වෙන්නේ, නැව් මගින් ආයුධ ආනයනය කර ඇති බවට තිබෙන තොරතුරු නොසලකා හැර ඇති බවයි. රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව කොමිසම ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද්විත්ව ප්‍රතිපත්තියක් ලෙස සලකන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා විධායක සභාව අවධාරණය කර ඇත. කොමිෂන් සභා වාර්තාව, අදාළ ප්‍රහාරය සැලසුම් කළ අය, බෝම්බකරුවන්ට ප්‍රහාරය සඳහා මුදල් සැපයු අය හා ආරක්ෂාව සැපයූ අ අය පිළිබඳව සැලකිල්ලක් දක්වා නැති බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා විධායක සභාව සඳහන් කර තිබේ.