94%ක් ඵලදායි කොරෝනා එන්නත මෙන්න..

94%ක් ඵලදායි කොරෝනා එන්නත මෙන්න..

by Staff writer 25-02-2021 | 8:16 AM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත 94% ක් ඵලදායී බව තහවුරු වී තිබේ.

ඒ, ෆයිසර් එන්නත්කරණය ආරම්භ වූ දා සිට මිලියන 1.2 ක පිරිසක් යොදා ගනිමින් කළ අධ්‍යයනයකිනි. එක් මාත්‍රාවක් පමණක් ලබාදීම හරහා කොරෝනා රෝග ලක්ෂණවලින් ආරක්ෂා වීම සඳහා 57% ක ඵලදායීතාවක් පෙන්නුම් කර ඇත. ඒ අනුව ලොව පුරා වසා දැමූ රටවල් විවෘත කිරීමට මෙන්ම ආර්ථික ක්‍රියාවලිය යළි ආරම්භ කිරීමට එය විශාල පිටිවහලක් වනු ඇතැයි විශේෂඥයින් පවසති. මේ අතර අමෙරිකාවේ නිෂ්පාදිත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා මර්දන එන්නත ද ඵලදායී ආරක්ෂිත එන්නතක් බව තහවුරු වී තිබේ. එය, අමෙරිකාවේ නිෂ්පාදිත තුන්වැනි කොරෝනා මර්දන එන්නතයි. අධිශීතාගාර වෙනුවට සාමාන්‍ය ශීතකරණයක ගබඩා කළ හැකි එම එන්නත ඉදිරියේදී ජනතාවට ලබාදෙනු ඇති. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙළ යටතේ නිකුත් කෙරුණු පළමු එන්නත් තොගය රැගත් ගුවන් යානය ඊයේ ඝානාවට ළඟා විය. එරටට ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ 6 කි.