සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සූදානම්...

සා /පෙළ විභාගයට අදාළව සෑම දිස්ත්‍රික්කයකම විශේෂ විභාග මධ්‍යස්ථාන

by Staff writer 25-02-2021 | 3:56 PM

COLOMBO (News 1st) – මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 2 ක් ස්ථාපනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා උපුටා දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ, විභාගයට පෙනී සිටින යම් සිසුවෙකු කොවිඩ් ආසාදිත තත්ත්වයට පත් වුවහොත් ඒ සඳහා පෙර සූදානමක් ලෙස මෙලෙස විශේෂ මධ්‍යස්ථාන 2 ක බැගින් ස්ථාපනය කිරීමේ තීරණය කර ඇති බවයි. මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය පවතින තත්ත්වය යටතේ සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා පැවත්වූ බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. ඒ යටතේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර විභාග කාල සීමාව තුළ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග ද සාකච්ඡා කර තිබේ. තව ද යම් ප්‍රදේශයක අයහපත් කාලගුණික තත්ත්වයක් ඇතිවුවහොත් එය විභාගය පැවැත්වීමට හෝ විභාග ශාලා වෙත සිසුන්ගේ රැගෙන ඒම සඳහා නාවික හමුදාව සහ ආරක්ෂක අංශ සෘජුව සම්බන්ධ වී සිටින බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. එළඹෙන මාර්තු 1 වැනිදා සිට ආරම්භ වන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර ලක්ෂ 6කට වැඩි අපේක්ෂකයන් පිරිසක් පෙනී සිටින අතර මධ්‍යස්ථාන 4,513 කදී විභාගය පැවැත්වේ. මේ අතර පසුගිය දා අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, එළැඹෙන ජුනි මාසයේදී එම විභාගයේ ප්‍රතිඵල ලබා දී ජූලි මාසය වනවිට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බවයි.