ශ්‍රී ලංකා රේගුවේ තත්ත්වය අධ්‍යනයට කොමිෂන් සභාවක්

ශ්‍රී ලංකා රේගුවේ වත්මන් තත්ත්වය අධ්‍යනයට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක්

by Staff writer 24-02-2021 | 6:46 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කොට එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට පැවරෙන කාර්ය වන බවයි. තොරතුරු තාක්ෂණ උපයෝගීතාව තුළ ආරක්ෂාව හා නිරෝධායන නීතිරීති අවධානයට ගනිමින් රේගුවේ කාර්යයන් විනිවිදභාවයෙන් යුතුව කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට පැවරෙන තවත් වගකීමකි. මහජනතාවගේ සහ වෙනත් පාර්ශවයන්ගේ අදහස් කැඳවීමට ද රේගු වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනයට ලක් කිරීමට ද ජනාධිපතිවරයා කොමිෂන් සභාවට නියෝග කර තිබේ. කොමිසමේ සභාපති ධූරයට පත් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනි ගුණරත්න මහතායි. අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ඩයස් යන මහත්වරු සෙසු සාමාජිකයින් වනු ඇත.