පකිස්ථාන අගමැති දිවයිනෙන් පිටත්ව යයි

පකිස්ථාන අගමැති දිවයිනෙන් පිටත්ව යයි

by Staff writer 24-02-2021 | 5:37 PM

COLOMBO (News 1st) - දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද සවස දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඔහු මෙරට මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන මන්ත්‍රීවරු15 දෙනෙකු ද හමුවිය. ඊට අමතරව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවේ ය. මෙම සංචාරය තුළදී පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් විය. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර නිල හමුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් විණි. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් විසිනි. එහිදී ජනාධිපතිවරයා සහ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා දීර්ඝ වේලාවක් ද්විපාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කළේ ය. කතාබහ බෙහෙවින් ඵලදායී වූ බව පකිස්ථාන නායකයා ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳවත් රාජ්‍ය නායකයෝ දෙදෙනා අදහස් හුවමාරු කර ගත් බවයි. ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටුවීම සිය ඉලක්කය බව දෙරටේ නායකයෝ ප්‍රකාශ කර ඇත. දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැන ද ජනාධිපතිවරයා සහ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු විණි. කොවිඩ් වසංගතය මර්දනය සමග මෙරට සංචාරය සඳහා පකිස්ථාන ජනතාවට ආරාධනා කළ ජනාධිපතිවරයා දෙරටේ සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් පළ කළේ ය. තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු විණි. මේ අතර ශ්‍රී ලංකා පකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කර තිබේ. එම සංගමයේ උපසභාපතිවරුන් ලෙස රවුෆ් හකීම්, අරවින්ද කුමාර්, සහ මොහොමඩ් මුසම්මිල් යන මන්ත්‍රිවරුන් තේරි පත් විය. එම පත්කිරිම් සිදු කෙරුණේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදී යි. මේ අතර පකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මහමුද් මහතා අද විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා විදේශ අමාත්‍යාංශයේදී හමු විය. මෙම හමුවට දෙරටේ නියෝජිතයින් 12 දෙනෙකු සහභාගී වී සිටියහ. එහිදී දෙරටේ මිත්‍ර සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව දෙපාර්ශය අතර සාකච්ඡා කෙරුණි.