රජය බයවෙලා කියලා දැනෙනවා - කාදිනල් හිමිපාණන්

රජය බයවෙලා කියලා දැනෙනවා - කාදිනල් හිමිපාණන්

by Staff writer 20-02-2021 | 8:43 PM

COLOMBO (News 1st) – පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා තවත් කමිටුවක් පත් කිරීමට එරෙහිව අද විරෝධතාවක් පැවැත්විය.

මේ විරෝධතාව පැවැත්වුණේ, මීගමුව කටුවාපිටිය ශු. සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානය ඉදිරිපිටදී ය. අද පෙරවරුවේ මීගමුව , කටුවාපිටිය ශූ.සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති යාඥා මෙහෙයකින් අනතුරුව මෙම පිරිස දේවස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත විය. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ ඥාතීන් පැවැත්වූ මේ විරෝධයේදී ඉල්ලා සිටියේ, ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව වහාම ප්‍රසිද්ධ කර වගකිව යුතු පුද්ගලයින් කඩිනමින් නීතිය හමුවට පමණුවන ලෙසය. පසුව එම ස්ථානයට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාන් පැමිණියේ ය. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
මම මේ පාස්කු කොමිසමේ වාර්තාව අපි ඉල්ලුවා. අපි ඉල්ලන්නේ වාර්තාව සම්පුර්ණයෙන්ම හෙළිදරව් කරන්න. මොකක්ද මේ වාර්තාවේ තිබුණ කියන එක හංගන්න අවශ්‍ය නැහැ හැම එකක්ම හෙළිදරව් කරන්න. එතකොට අපි තිරණය ගන්නම් මොකක්ද කරන්න ඕනේ කියලා . මොකද මේකෙන් යම් ආකාරයට රජය බයවෙලා කියලා සමහර දේවල් හෙළිදරව් කරන්න. ඒගොල්ලන්ට මොනවා හරි කරන්න අමාරු දේවල් නිසා මේක හංගනවා කියලා බයක් මේක යම් ආකාරයක හැඟීමක් එනවා. ඒ කොමිෂන් සභාවේම ඉදිරිපත් කරපු විදියට හැම එකක්ම ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඒකේ එකක්වත් හංගන්න බැහැ. එකක්වත් තෝරන්න බැහැ. අපිට ඕනේ මේ වාර්තාව එළිදරව් කරන්න. ඒක අපිටත් ඉදිරිපත් කරන්න මමත් දැන් ලියුමක් ඇරියා මට තාම ඒකට උත්තරයක් ආවේ නැහැ. නිලධාරින් ටික කෙනෙක්ව හිරේ දාලා ඉවර වෙලා මේකට පිටිපස්සේ ඉන්න බලවේග මොනවාද කියන එක හංගන්න දෙන්න බැහැ. ඒ හැම දෙයක්ම හෙළිදරව් කරන්න ඕනේ.
ප්‍රශ්නය -
කාදිනල්තුමා එතකොට මේකට සම්බන්ධ සාරා කියන තැනැත්තිය ඉන්දියාවට පලාගියා කියලා කියනවා එතකොට මේක හෙළිදරව් වෙයි කියන බයටද මේ වාර්තාව එළියට දෙන්නේ නැත්තේ ?
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් -
අපි දන්නේ නැහැ ඒවා ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා. ඒ නිසා මම කියන්නේ ආණ්ඩුව මේ ලියවිල්ල එළිදරව් කරන්න. මේක අපිට භාර දෙන්න ඕනේ. එතකොට අපි ඒ අනුව සුදුසු දේවල් කරනවා.
ප්‍රශ්නය -
ඔබවහන්සේ හිතනවා ද මේ අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කිරීම හරහා මේ ජනතාවට සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා.
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් -
මම හිතන්නේ නැහැ එහෙම සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා . මොකද මේකෙන් මම දකින්නේ යම් යම් කරුණු හංගන්න දරන උත්සාහයක් හැටියට .
ප්‍රශ්නය -
මේකෙන් සාධාරණයක් ඉෂ්ඨ වුණේ නැතිනම් මොකක්ද ඊළඟ පියවර
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් -
අපි කිව්වානේ අපි ජාත්‍යන්තර සංවිධානවලට යනවා කියලා. ඒක අපි යනවා. අනිවාර්යයෙන්.