මගේ ඉලක්කය ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් බිහි කිරීම..

මගේ ඉලක්කය අල්ලපු රටේ ලීගයන්ට ක්‍රීඩකයින් බිහි කිරීම නොව ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් බිහි කිරීමයි - නාමල් රාජපක්ෂ

by Staff writer 20-02-2021 | 9:17 PM

COLOMBO (News 1st) – තම ඉලක්කය අසල්වැසි රටවල්වල ලීග් ක්‍රීඩා තරග සඳහා ක්‍රීඩකයින් බිහි කිරීම නොව මෙරට ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් බිහි කිරීම බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පාපන්දු ක්‍රීඩාව මෙරට තුළ ප්‍රචලිත කිරීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමග එක්ව සංවිධානය කරන ෆුට්බෝල් ෆ්‍රයිඩේ (FOOTBALL FRIDAY ) වැඩසටහන කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ ආරම්භ විය. සෞඛ්‍ය නීතිරීතිවලට යටත්ව ක්‍රියාත්මක වන එහි තරග පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යවරයා, ජනප්‍රිය ක්‍රීඩකයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ය. එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අදහස් දැක්වූවේ ය. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා
ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු මේ රටේ සියලුම ක්‍රීඩාවන්ට ප්‍රශ්නය තියෙන්නේ ප්‍රතිපත්තියක් නැතිකම. හතු පිපෙන්නා වගේ ක්‍රීඩකයෝ එනකොට ඒ කට්ටිය නැති වෙලා යන්නෙත් ඒ වගේමයි. හැබැයි ඒක ක්‍රීඩකයගේ වැරැද්ද නෙවෙයි. සිස්ටම් එකේ වැරැද්ද . අයි.පී.එල් කියන්නේ ප්‍රයිවෙට් ලීග් එකක්. පෞද්ගලික තරගාවලියකට තෝරනකොට දක්ෂයෙක් වෙන්න ඕනෙත් නෑ. කණ්ඩායමේ අයිතිකාරයාට ඕන කෙනෙක් ගන්නත් පුළුවන්. පෞද්ගලික ලීගයන්හි සල්ලි හම්බ කරන්න උත්සාහ කරන අය ගැන නෙවෙයි අපි සැළකිලිමත් වෙන්න ඕනේ. ජාතිකත්වය, අපේකම, ක්‍රීඩාව, කණ්ඩායම් හැඟීමෙන් ජයග්‍රහණය කරා යන්න පුළුවන් පිරිසක් හොයා ගන්න අපි උත්සාහ කරන්නේ. අපේ ඉලක්කය අල්ලපු රටේවත් ළඟපාතවත් තියෙන පෞද්ගලික ලීගයන්ට ක්‍රීඩකයෝ බිහි කරන එකෙ නෙවෙයි. මගේ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයෝ බිහි කරන එක.