කොවිඩ් එන්නත් ලක්ෂ 3ක් මෙරටට එවීමට සූදානමින්..

කොවිඩ් එන්නත් ලක්ෂ 3ක් මෙරටට එවීමට සූදානමින්..

by Staff writer 20-02-2021 | 9:24 PM

COLOMBO (News 1st) – ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙළ හරහා මෙරටට ලබාදෙන එන්නත් තොගයෙන් මාත්‍රා ලක්ෂ 3ක ප්‍රමාණයක් මේ වනවිට මෙරටට එවීම සඳහා සූදානම් කර ඇති බව එම සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගිනිකොණදිග ආසියානු කලාපයේ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ප්‍රකාශ කළේ, මෙම මාසය අවසන්වීමට ප්‍රථම එම එන්නත් තොගය මෙරටට ලැබෙනු ඇති බවයි. කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරටට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ. එම සංවිධානය ප්‍රකාශ කළේ, එලෙස ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගයෙන් මාත්‍රා ලක්ෂ 3ක් මේ වනවිට ඉන්දියාවේ සීරම් ආයතනය ඇසුරුම් කර අවසන් බවයි. කොවැක්ස් වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන එන්නත් ලක්ෂ 40 අදිරය කිහිපයක් යටතේ ලබාදෙන අතර පළමු අදියරේදී ලැබෙන එන්නත් ප්‍රමාණය ලක්ෂ 16කි. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ, එම එන්නත් ලක්ෂ 16 ඉදිරි මාස 3 ඇතුළත ලබා දීමට නියමිත බවයි. ඔක්ස්ෆඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත කල් තබා ගත හැකි උපරිම කාලය මාස 6ක් වන බවත් ඒ අනුව මෙම අදියර ක්‍රමය භාවිතවන බවත් එම සංවිධානය පෙන්වා දෙන්නේය. මේ අතර රාජ්‍ය ඖෂධ නීතීගත සංථාව ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත එන්නත් ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි පසුගිය 18 වැනිදා භාරදුන් බවයි.