හිසට වෙඩි වැදුණු මියන්මාර තරුණිය මරුට

මියන්මාර විරෝධතා අතර හිසට වෙඩි වැදුණු තරුණිය මරුට

by Sagarika Chathumali 19-02-2021 | 4:34 PM

COLOMBO (News 1st) : මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවල නිරතව සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය 9 වනදා විරෝධතාවල නිරතව සිටියදී හිසට වෙඩි වැදීමෙන් රෝහල්ගත කර සිටි මයා ට්වේ ට්වේ ඛායිං නමැති 20 හැවිරිදි අදාළ තරුණිය මියගිය බව රෝහල් බලධාරීන් සනාථ කළ බවයි. තව ද සජීවි උණ්ඩයක් හේතුවෙන් ඇයගේ හිසට දැඩි තුවාල සිදුව තිබූ බව ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසා තිබේ. හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවලදී ජීවිතක්ෂයට පත් පළමු මියන්මාර පුරවැසියා ඇය වනු ඇති. පසුගිය පෙබරවාරි 1 වන දා එරට නායිකා අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මියන්මාර හමුදාව රටේ පාලන බලය සියතට ගත්තේ ය. පසුව මෙම හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් නායිකාව නිදහස් කර යළි ප්‍රජාත්නත්‍රවාදය ස්ථාපනය කරන ලෙස බල කරමින් දහස් ගණන් වූ මියන්මාර වැසියෝ මහ මගට බැස දින ගණනාවක් තිස්සේ විරෝධතාවල නිරත වූහ. අවුන් සාන් සූචී නිදහස් කර ප්‍රජාත්නත්‍රවාදී ප්‍රවේශයට පිවිසෙන ලෙස ලෝක බලවතුන් බල කර සිටිය ද මියන්මාර හමුදා පාලකයින් අඩියක් හෝ පිටුපසට ගන්නා බවක් පෙනෙන්නට නොමැත . පෙර පුවත් සඳහා පිවිසෙන්න.. 

?BREAKING : සූචී අත්අඩංගුවට ගෙන මියන්මාර හමුදාව රටේ බලය අල්ලා ගනී

?හමුදා අත්අඩංගුවට පත් මියන්මාර් නායිකාව රක්ෂිත බන්ධනාගාරයට