අප්‍රේල් 21 ප්‍රහාරයේ වාර්තාව අධ්‍යයනයට කමිටුවක්

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්

by Hashini De Mel 19-02-2021 | 6:07 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ තිබේ.

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීම මෙම කමිටුවේ වගකීමයි. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් එම කමිටුවේ සභාපති ධුරය දරනු ලැබේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් එහි සෙසු සාමාජිකයින් වේ. ජනපති කොමිසමේ වාර්තාව මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව ද ජනාධිපති කාර්යාලය විසින් මෙම කමිටුවට යොමු කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. කමිටුව ලබන මස 15 වැනි දිනට පෙර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.