පොලිස් නිලධාරීන්ගේ අකටයුතුකම් සෙවීමට බුද්ධි අංශ

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සෙවීමට බුද්ධි අංශ

by Staff writer 18-02-2021 | 7:30 AM

COLOMBO (News 1st) - පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සම්බන්ධයෙන් පොලිස් කොමිසමට ලැබෙන නිර්නාමික පැමිණිලි සම්බන්ධයෙන් බුද්ධි අංශ යොදවා තොරතුරු සෙවීමට තීරණය කර තිබේ.

පොලිස් කොමිසමේ සභාපති විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධ උපදෙස් පොලිස්පතිවරයාට ලබාදුන් බවය. ඒ අනුව නිර්නාමික පැමිණිලිවල අන්තර්ගත කරුණු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කර වැරදි කළ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති. පොලිස් කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ද උපදෙස් ලබාදී ඇති බවයි. මේ අතර පොලිස් නිලධාරීන්ට එරෙහිව පොලිස් කොමිසමට ලැබෙන ඇතැම් නාමික පැමිණිලිවල නිසි තොරතුරු සටහන් නොවීමෙන් ඒ පිළිබඳව විමර්ශනයට බාධා මතුව ඇති බව ද පොලිස් කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ය. එබැවින් පැමිණිල්ලක් යොමු කරන්නේ නම් එය විමර්ශනයට හැකි වන පරිදි දත්ත ඇතුළත් විය යුතු බව ඔහු අවධාරණය කළේ ය. ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කරන්නන්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.