මෙරට ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවට වසර 39යි

මෙරට ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවට අදට වසර 39යි..

by Staff writer 17-02-2021 | 10:02 PM

COLOMBO (News 1st) - 1982 වසරේ පෙබරවාරි 17, මෙරට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී දිනයක් බවට පත් විය.

ඒ, ක්‍රිකට් ක්‍රීඩාව ලොවට දායාද කළ, හිරු නොබසින අධිරාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායම සමග තරගවැදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට ටෙස්ට් තරගයක් සඳහා එක් වීමත් සමගිනි. කොළඹ පී.සරා. ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී සිදත් වෙත්තමුණි, රෝයි ඩයස්, දුලිප් මෙන්ඩිස්, රන්ජන් මඩුගල්ලේ, අර්ජුන රණතුංග, සෝමචන්ද්‍ර ද සිල්වා, අසන්තා ද මෙල්, ලලිත් කළුපෙරුම, මහේෂ් ගුණතිලක, අජිත් ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තේය. මෙම සුවිශේෂී තරගයේදී බන්දුල වර්ණපුර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විය. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර
"ඉතාමත් සුන්දරයි. මමත් නායකයා හැටියට කණ්ඩායමේ අනිත් අයත් ක්‍රීඩකයනුත් එම පළවෙනි ටෙස්ට් තරගයට සහභාගී වීම සහ ඒ තිබුණ වාතාවරණය සහ අපිට උදව් කළ සෑමදෙනාම මතක් කිරීම මාගේ යුතුකමක් කියලයි මා සලකන්නේ"
ලබන්නට තිබු ජයක් පරාජයක් බවට පත් වුවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සිය දක්ෂතා ලොවටම විදහා දැක්වීමට මෙම තරගයේදී සමත් විය. හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි
ටෙස්ට් ක්‍රිකට් ගහන්න ඉස්සෙල්ලා අපේ හිතේ තිබ්බේ එකම දෙයයි, කවදා හරි ටෙස්ට් මැච් එකක් ගහන්න ඕනේ කියලා රිටයර් වෙන්න ඉස්සෙල්ලා. ඉතින් ඒ අවස්ථාව ලැබුණේ එක ගැන ඒ අවස්ථාව උදා කිරීමට උදව් වුණ හැම ක්‍රීඩකයෙකුයි පාලකයන්ටත් අපේ ස්තූතිය පුදනවා"
මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සදාතනික මතකයක්. හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අසන්තා ද මෙල්
"සන්තෝසයි මේ පළවෙනි ටෙස්ට් මැච් එකේ මම කඩුලු, පළවෙනි ඉනිමේ 4 යි දෙවැනි ඉනිමේ කඩුලු එකක් ලබා ගත්තා. ඒ වගේම මුළු ටෙස්ට් එකේම කඩුලු 5ක් ලබා ගැනීමට ලැබිච්ච අවස්ථාව ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා"
ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය මෙරටට ලබා දීමේ පටන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිය මෙහෙවර හදවතින්ම සිය යුතුකමක් සේ සලකා ඉටුකළ සැමට මේ සුවිශේෂී දිනයේ මෙරට ජනතාවගේ ගෞරවය හිමි වනු නොඅනුමානයි.