by Sagarika Chathumali 17-02-2021 | 1:29 PM
COLOMBO (News 1st) : සීදූව, රද්දොලුව මුතුවාඩිය ප්‍රදේශයේදී තරුණයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණියක ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුව ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, පසුගිය පෙබරවාරි 8 වැනිදා පැහැර ගැනීමට ලක්වූ ඔහුගේ සිරුර ඊට දින දෙකකට පසු නිකවැරටිය, කොටවෙහර ප්‍රදේශයේ කැලෑවක තිබීයදී සොයාගත් බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මග්ගොන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
ඝාතනයට ලක් වූ තරුණයාට අයත් මාතර අනාගාරික ධර්මපාල මාවතේ පිහිටි ගොඩනැගිල්ලක් කුලියට ලබා දුන් පුද්ගලයා සැලසුම්සහගතව මෙම ඝාතනය සිදු කර ඇති බව හෙළි වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, කුලියට දුන් ගොඩනැගිල්ල යළි ලබා ගැනීමට උත්සාහ කිරීමක් නිසා ඇති වූ වෛරයක් මත මෙම අපරාධය සිදු කර ඇති බවයි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අතර සිටින 22 හැවිරිදි සැකකාරිය මුහුණුපොත ඔස්සේ අදාළ තරුණයා සමග සම්බන්ධයක් ඇති කර ගෙන පසුව එක්තරා හෝටලයක නැවතීමට සීදුව ප්‍රදේශයට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබේ.
ඒ අනුව අදාළ තරුණයා වෑන් රථයකින් පැමිණීමෙන් පසු පිරිස ඔහු පැහැර ගෙන ගොස් නිකවැරටිය, කොටවෙහෙර ප්‍රදේශයේදී ඝාතනය කර පසුව මළ සිරුර කැලෑබද ප්‍රදේශයක දමා පළා ගොස් තිබිණ.
අප වාර්තාකරු පැවසුවේ, පසුව ලද තොරතුරක් මත අදාළ මළ සිරුර සොයා ගත් බවයි.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරන කරන අතර අත්අඩංගුවට ගත් තරුණිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
https://www.youtube.com/watch?v=g879-kURqiA&feature=youtu.be