Full Face Helmet නඩු  ඉල්ලා අස්කර ගන්නැයි  උපදෙස්

Full Face Helmet නඩු සියල්ල ඉල්ලා අස්කර ගන්නැයි, පොලීසියට උපදෙස්

by Staff writer 16-02-2021 | 3:23 PM

COLOMBO (News1st) : සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන පරිදි ආරක්ෂිත හිස්වැසුම් පැළඳ යතුරුපැදි පදවන යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නේ, එම චෝදනා යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති සියලුම නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙසටත්, එමගින් නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවයි. සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන පරිදි ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ යතුරුපැදියක් ධාවනය කිරීමේ චෝදනාව යටතේ වැල්ලවාය පොලීසිය පවරා තිබු නඩුවක සැකකරුවෙකු වන නාමල් ප්‍රසංග නමැත්තා විසින් ගොනු කරන ලද රීට් ආඥා පෙත්සමක් යළි කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ බව දැනුම් දුන්නේ ය. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ රීට් ආඥා පෙත්සම කැඳවී ය. 2017 අංක දෙක දරන මෝටර් යතුරුපැදි ආරක්ෂිත රෙගුලාසි යටතේ පොලිසිය විසින් පෙත්සම්කරුට එරෙහිව එම නඩුව පවරා ඇතත්, එම රෙගුලාසිය මේ වනවිට බලශුන්‍ය කර ඇති බැවින් ඉදිරියේදී එලෙස නීතිමය පියවර නොගන්නා ලෙසට ද පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ අනුව සිය සේවාදායකයා ඉදිරිපත් කර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදූවගේ මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය.