හම්බන්තොට වරායේ ආරක්ෂාව අනතුරක ද?

හම්බන්තොට වරායේ ආරක්ෂාව අනතුරක ද?

by Staff writer 16-02-2021 | 8:58 PM

COLOMBO (News 1st) - හම්බන්තොට වරාය භූමියේ, චීනයට බදුදී ඇති කොටසේ පිහිටි නාවික හමුදා කඳවුරක් වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි පසුගිය 7 වැනි දා ඉංග්‍රීසි පුවත්පතක වාර්තා කර තිබුණි.

වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා උපුටා දක්වමින් පුවත්පත සඳහන් කර තිබුණේ, වරාය බදුදීමේ ගිවිසුම අනුව එම කඳවුර චීනයට බදු දී ඇති භූමියක පිහිටා ඇති බවයි. අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව විමසීමක් කෙරුණි. ප්‍රශ්නය,
අමාත්‍යතුමනි මා දැන ගන්න කැමති, හම්බන්තොට වරායේ චීනයට අයත් කොටසේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කඳවුර ඉවත් කර ගන්න කියලා ඉල්ලිමක් කරලා තියෙනව ද? ඒ අනුව මේ වෙනකොට ඒ කඳවුර ඉවත් කරගැනීමට අවශ්‍ය කටයුතු යොදලා තියෙනව ද?
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,
ඇත්තෙන්ම අපේ ආණ්ඩුව බලයට පත් විමෙන් පසු ජනාධිපතිතුමන් විසින් චීනය සමග මේ පිළිබඳව කරපු සාකච්ඡාවලදී වරායේ ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට ලබා දෙන්න තීරණයක් අරගෙන තියෙනවා. ඒ නිසා නාවික හමුදා කඳවුර ඉවත් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නගින්නේ නෑ
කෙසේවෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද චෝදනා කළේ, හම්බන්තොට ඉඩම් අක්කර පහලොස් දහසක් පමණ චීනයට ලබාදීමේ සූදානමක් ඇති බවයි.