ඩෙල්ෆ් දූපතේ චීන විදුලි ව්‍යාපෘතිය සොයා ගිය ගමන

චීන විදුලිය ව්‍යපෘතියකට ලබා දීමට සැරසෙන යාපනයේ දූපත් සොයා ගිය නිව්ස්ෆස්ට්..

by Staff writer 16-02-2021 | 9:03 PM

COLOMBO (News 1st) -  යාපනයේ දූපත් 3ක් විදුලිය ව්‍යාපෘතියක් සඳහා චීන ඒකාබද්ධ සමාගමකට ලබා දීමේ යෝජනාව පිළිබඳව මේ දිනවල පවතින්නෙ සංවාදාත්මක තත්ත්වයකි.

පසුගිය ජනවාරි 18 වැනි දා කැබිනට් මණ්ඩලය අනුමත කළ යෝජනාව අනුව නාගදීපය, ඩෙල්ෆ් සහ අනලතිව් දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. චීනයේ සයිනොසෝර් එච්වින් ජොයින්ට් වෙන්චර් නමැති සමාගමට ව්‍යාපෘතිය ලබා දීමට මේ වනවිට අනුමැතිය ලැබී තිබේ. ඩෙල්ෆ් දූපතේ විදුලි බල මණ්ඩලය ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති ස්ථානයට අප වාර්තාකරුවන් අද ළඟා විය. වර්ග කිලෝමීටර හතළිස් හතයි දශම පහක භූමි ප්‍රමාණයක පිහිටා ඇති ඩෙල්ෆ්ට් දූපතේ අක්කර 12 ක් මේ වනවිට විදුලිය ව්‍යාපෘතියක් සඳහා වෙන්කර තිබේ. පවුල් 1,329 කට අයත් පුද්ගලයින් 4,065 දෙනෙකු මෙම දූපතතේ ජීවත් වන අතර ධීවර සහ සංචාරක කර්මාන්තය ඔවුන්ගේ මූලික ජීවනෝපායයි. ඩෙල්ෆ්ට් දූපතට මේ වනවිට විදුලිය සපයන්නේ ඩීසල් බලාගාරයක් ආශ්‍රයෙනි. යෝජිත බලාගාරය සමීපයෙහි පිහිටා ඇති තිරුලිංගපුරම් ගම්මානයේ ජනතාව පවසන්නේ, දෙමුහුන් විදුලිය උත්පාදන ව්‍යාපෘතියක් පිළිබඳව තමන් නොදැනුවත් බවයි. කෙසේ වෙතත් එහි දිවිගෙවන බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ චීන සමාගමක් සමග එක්ව සිදු කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය තමන්ට අහිතකර ප්‍රතිවිපාක ගෙන දීමට ඉඩ ඇති බවය. ඩෙල්ෆ් දූපත යාපනය අර්ධද්වීපයට අයත් විශාලම දූපතයි. මෙම දූපතෙහි සිට ඉන්දියාවේ රාමේෂ්වරන් වෙත ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 42.5 කි. ඩෙල්ෆ් දූපතේ සිට යාපනයේ සමීපතම ගොඩබිමට ඇති දුර කිලෝමීටර 15 කි. උතුරේ දුපත් තුනක් සුර්ය බලශක්ති ව්‍යාපෘතියක් වෙනුවෙන් චීනයට ලබාදීමේ රජයේ තීරණයේ කිසිදු වෙනසක් නැති බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ ය.