පාරේදි උයන් කාලා, ෆාමසියෙන් බෙහෙත් අරන්, පුස්තකාලයෙන් පොත් කියවලා කරන ගොවි සටන..

by Janitha Mendis 15-02-2021 | 7:51 PM
COLOMBO (News 1st): ලෝකයේම අවධානය දිනාගත් ඉන්දියාවේ ගොවි විරෝධය මේ වනවිට මහා අවුලක් බවට පත් වී හමාරයි. අදානි වැනි මහාපරිමාණ සමාගම්වලින් තම ගොවි බිම් සහ කෘෂි නිෂ්පාදනවල අයිතිය ආරක්ෂා කර ගැනීමට ගෙන යන මෙම දැවැන්ත සටනට දැන් මාස දෙකක් පමණ ගත වී අවසන්. නවදිල්ලිය සහ හර්යානා ප්‍රාන්ත සීමා අතර ඉන්දීය ගොවීන් දහස් ගණනක් මේ වනවිට කඳවුරු බැඳගෙන සිටිනවා මේ සටන තුළ අප නොදැකපු තවත් පැතිකඩක් තිබෙනවා ඒ තමයි ඔවුන් මාස ගාණක් පුරාවට මහ මග රැඳී සිටිමින් විරෝධතාවට ගැලෙපෙන ලෙස තම දෛනික ජීවිතය පවත්වාගෙන යන ආකාරයයි.. දහස් ගණනක් වූ ඉන්දීය ගොවි විරෝධතාකරුවන් කිලෝමිටර් 20ක් පමණ දුරට කඳවුරු බැඳගෙන සිටීම විශේෂත්වක් මෙහි එක් ප්‍රදේශයක ඔවුන් ගෙන යන සටන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටන් පැවැත්වෙනවා. ඒවා සමග රොඳ බැඳගත් ගොවීන් තම සටනේ වර්තමාන තත්ත්වය පිළිබඳව වෘත්තීය සමිති ලබාදෙන තොරතුරුවලින් සන්නද්ධ වෙනවා.. තවත් පිරිසක් කුඩා කණ්ඩායම් ලෙස එකතු වී දේශපාලනය ගැන එහෙම නැත්නම් ගොවි සටනේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා පවත්වනවා හිත තුළ තම සටන පිළිබඳ හැඟීම දරාගත් මේ මිනිස්සු ටික වෙලාවකට හරි සැනසීමක් ලබා ගත්තේ තම සංස්කෘතියට ආවේණික වූ සංගීතයට ඇහුම්කන් දිලා වෙනදට කුඹුරු වල ගියපු මහා ට්‍රැක්ටර් රථ දැන් යන්නේ පාරේ විතරයි. තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න සමහර ගොවියෝ මේ ස්ථානයට කඳවුරු බැඳගන්න ආවේ තනියම නෙමෙයි. පවුලේ සාමාජිකයිනුත් ඔවුන් එක්ක තනියට ආවා මේ හැමෝටම කන්න, බොන්න දෙන්නත් ඔ්න.. ඒ අනුව ඔවුන් ආහාර පාන ලබාදෙන වැඩපිළිවෙළක් මේ විරෝධතා කඳවුරු භූමිය තුළම සංවිධානය කරලා තියෙනවා ආහාර පාන සකස් කර ගන්න අවශ්‍ය ගෑස් සිලින්ඩර පවා ඔවුන් සිය විරෝධතාකරුන්ට සපයනවා ඒ විතරක් නෙමෙයි ලෙඩට දුකට පිහිටවෙන්නත් මේ විරෝධතා කඳවුරු භූමිය තුළ පහසුකම් තියෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් ඖෂධහල් කිහිපයක් ද ස්ථාපිත කර තිබෙනවා. මේ ආකාරයට පුළුවන් උපරිම අයුරින් අවශ්‍ය පහසුකම් සපයා ගනිමින් තම අරමුණ වෙනුවෙන් සටන් කරන ඉන්දීය ගොවීන් පොත පතේ දැනුමින් සන්නද්ධ වෙන්නත් අමතක කරලා නෑ ඔබ කිසිදා විශ්වාස නොකරාවි මෙම ගොවි විරෝධතාකරුවන්ගේ කඳවුරු භූමිය තුළ පුස්තකාලයක් ද ස්ථාපිත කර තිබෙනවා. එහි මෙවැනි විරෝධතා සම්බන්ධයෙන් ලියැවුණු පොත්පත් ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. මූලික පහසුකම් සපයා ගනිමින් දැනුමෙනුත් සන්නද්ධ වෙමින් විරෝධතාවට එක්ව සිටින ඉන්දීය ගොවීන් සියල්ලන්ගේම එකම ප්‍රාර්ථනය කෙසේ හෝ සිය සටන ජය ගැනීමයි. සටන තුළ ඉන්දීය ‌ගොවීන් උණුසුම් වූ අවස්ථා ද නැතුවා නොවේ. ඉන්දීය ගොවීන් එලෙස සිය විරෝධතාවයේ නිරත වෙද්දී ලංකාවේ ගොවීන් පිරිසක් ද කඳවුරු බැඳ විරෝධතාවක නිරත වෙනවා. සූරියවැව වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා හම්බන්තොට, වල්සපුගල ගොවීන් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට මේ වනවිට දින 25ත් පසු කර අවසන්. බලධාරීන්ගේ ඇස් ඇරගන්න මේ ගොවීන් නොකළ දෙයක් නෑ. මාරාන්තික උපවාසය ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තා. ජීවිතය පරදුවට තියලා හරි තමන්ගේ අරමුණට යන්න මේ ගොවීන් අධිෂ්ටාන කර ගත්තා සටන තුළ ඔවුන් විටෙක සවේදි වුණා තවත් විටෙක ඔවුන් විවිධ විශ්වාස මත කටයුතු කළා. සටන ද තීව්‍රර වූ අවස්ථා ද නැතුවාම නොවේ. අලි කළමනාකරණ රක්ෂිතයක් වෙනුවෙන් සටන් කරන ගොවි විරෝධයට අලින්ගෙන් කරදත් පහුගිය දවස්වල සිද්ධ වුණා. ඉන්දියාවේ වුණත් ලංකාවේ වුණත් මේ හැමෝම රටේ ආර්ථිකයට දායක වෙන ගොවීන්. හැමෝගෙම අරමුණ තමන්ගේ රට දියුණු කරන්න. හැබැයි බලධාරීන්ගේ සමහර සැලසුමක් නැති තීරණ ඉස්සරහ ඔවුන් කවුරුත් කැමති නෑ යකඩ සපත්තුවට යටවෙලා පොඩි වෙන්න රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් විවිධ දුක් කම්කටුළු මැද තැනට සුදුසු ලෙස මේ දහස් ගණනක් වූ ගොවීන් කරගෙන යන සටනින් අපිටත් ඉගෙනීමට බොහෝ දේ ඇත. සාමුහිකත්වය, නොපසුබට උත්සාහය පෙරදැරි වූ මේ සටන්වලට බලධාරීන් සිය සෙනෙහසේ දෑත කවදා දිගු කරයිද? එතෙක් ඔවුන් සටන් කරාවී. සටනේ අවසානය දෙස අපි සිහිබුද්ධියෙන් බලා සිටිමු....!