'කැකුළු තුරු උදානය' ජනපති ප්‍රධානත්වයෙන්..

ගුරු ගෙදරට පා තැබූ දරුවන් සමග ජනපති රුක් රෝපණ ජාතික වැඩසටහනක් අරඹයි..

by Staff writer 15-02-2021 | 9:29 PM

COLOMBO (News 1st) : 'කැකුළු තුරු උදානය' ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්යෙන් අද(15) ගම්පොළදී ආරම්භ විය.

ඒ, මේ වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට සමගාමීවයි. අද පෙරවරුවේ ගම්පොළ, අටබාගේ විමලධර්ම ජාතික පාසලට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සංකේතවත් කරමින් දරුවෙකුගේ නම ලියාපදිංචි කළේ ය. එහිදී දරුවන් සමග එක්ව 'කැකුළු තුරු උදානය' වැඩසටහන ආරම්භ කරමින් පැල සිටුවීමට ජනාධිපතිවරයා ද එක්විය. සෑම වසරකම පළමු වැනි ශ්‍රේණියට පිවිසෙන තුන් ලක්ෂ පනස්දහසකට ආසන්න දරු දැරියන් පරිසරයට ආදරය කරන පුරවැසියන් බවට පත්කිරීම හා “සෞභාග්‍යයේ දැක්ම” හඳුන්වා දුන් තිරසර පරිසර ප්‍රතිපත්තියට අනුව අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් දායාද කිරීම මේ වැඩසටහනේ අරමුණයි. 'කැකුළු තුරු උදානය' වැඩසටහන යටතේ ඉදිරි වසර 5 ඇතුළත කොස් , දෙල් , පොල් , අඹ ඇතුළු පැල වර්ග ලක්ෂ 17 ක් දරුවන්ගේ අධීක්ෂණය යටතේ පරිසරයට එක් කිරීමට නියමිතය.