ලුණුගල, ඇකිරිය ප්‍රදේශයේ සුළු භූ චලනයක්

ලුණුගල, ඇකිරිය ප්‍රදේශයේ සුළු භූ චලනයක්

by Staff writer 12-02-2021 | 7:26 AM

COLOMBO (News 1st) : ලුණුගල, ඇකිරිය ප්‍රදේශයේ අද අලුයම සුළු භූ චලනයක් සිදුව තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ , අද අලුයම 4.53 ට පමණ මෙම සුළු භූ චලනය සිදුව ඇති බවයි. පල්ලේකැලේ සහ හක්මන භූ කම්පන මධ්‍යස්ථානවල එම භූ චලනය පිළිබඳ සටහන්ව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර පසුගිය ජනවාරි 31 වෙනිදා ද ඇකිරිය ප්‍රදේශය ආශ්‍රි තව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා විය. එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 2කට ආසන්න අගයක පැවතියේ ය. ජනවාරි 22 වෙනිදා වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව ද රික්ටර් පරිමාණයේ ඒකක 1 දශම 8 ක සුළු භූ චලනයක් වාර්තා විය. පසුගිය වසරේ අගෝස්තු මස 29 වෙනිදා සිට මෙම කම්පන තත්ත්වයන් බහුලව වාර්තා වූයේ වික්ටෝරියා ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් ය. අගොස්තු 29 වෙනිදා සිදුවූ කම්පනය රික්ටර් මාපාකාංක 3.5 ක ඉහළ අගයක් ලෙස සටහන්ව තිබූ අතර සැප්තැම්බර් 02 සහ 11 වෙනිදා සිදුවූ භු කම්පන සටහන්ව තිබුණේ ඒකක 2 කට අඩු අගයන්ගෙන් ය. එහෙත් පසුගිය නොවැම්බර් මස 18 වෙනිදා භු කම්පනය 2 යි දශම 5 ත් තුනයි දශම 5 ත් අතර ඉහළ අගයකට ගොස් තිබුණි. නොවැම්බර් 29 දා වාර්තා වූ පස්වෙනි කම්පනය සටහන්ව තිබුණේ, 1 යි දශම පහත් දෙකත් අතර අගයකින් ය. පසුගිය දෙසැම්බර් පස් වෙනිදා එම ප්‍රදේශය ආශ්‍රිතව කම්පන 4 ක් වාර්තාවූ අතර ඒවා ඒකක දෙකට අඩු අගයන්ගෙන් වාර්තා විය.