මහසෙන්පුර පවුල් 600 ක් සතුටු කඳුළු හෙළයි..

පදවිය, මහසෙන්පුර පවුල් 600ක් සතුටු කඳුළු හලපු උතුම් ක්‍රියාව..

by Staff writer 12-02-2021 | 9:24 PM

COLOMBO (News 1st) - ප්‍රශ්නවලට විසඳුම් නැතුව පීඩිත වෙලා ඉන්න මිනිස්සු ගම්මැද්දට ලෙංගතුයි.

බොන වතුර ටිකට අනන්ත දුක් විඳපු පදවිය, මහසෙන්පුර පවුල් 600 ක් අද සතුටු කඳුළු හෙළුවේ ගම්මැද්දෙන් හදා දුන්නු පානීය ජල ව්‍යාපෘතිය භාර ගෙනයි. අනුරාධපුරේ පදවිය, මහසෙන්පුර ගම්මානේ ඉන්නේ අතීතයේ ඉඳන්ම දුක් ගොඩක් දරාගත්තු හුඟාක් දුක් විඳින මිනිස්සු පිරිසකි. යුද්දේ නිසා එක කාලයක දුක් විඳලා අද වෙනකම් දුක් විඳින්නේ මූලික අවශ්‍යතා ටිකවත් සපුරාගන්න බැරුවයි. බොහෝ දෙනෙක් වකුගඩු රෝගයට ගොදුරු වෙලා. ඉඩෝර කාලෙට වතුර ටිකක් හොයාගන්නෙ සඳගිරි විහාරෙ ළිඳෙන් මේ කතාව අහපු ගම්මැද්ද මාස කිහිපයකට කළින් ජල ව්‍යාපෘතියකට වැඩ පටන් ගත්තේ ය. තම ආදරණීය දියණිය සිහි කරමින් මේකට මූල්‍ය දායකත්වය දුන්නේ, කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි සුනිල් කනෝජියා මහත්මයා සහ එම මැතිණියයි. අද පවුල් 600 කට පිරිසිදු පානීය ජලය ලැබෙන අවස්ථාවට ගම්මැද්දේ ආරාධනයෙන් ඔවුන් දෙදෙනාත් සහභාගි විය. සඳගිරි විහාරයේම නළ ළිඳක් හදලා, කුළුණක ටැංකියක් තියල පහසුවෙන් වතුර ගන්න පුළුවන් විදියට මේක හදල දුන්නු එකට ගම්මු බොහෝම සතුටින් ස්තූතිය පළ කළහ. පළමු වතුර ටික පැන් විදියට පූජා කළේ, සඳගිරි විහාරේ බෝ සමිඳුන්ට යි. ගමේ පාසලේ තියෙන අඩුපාඩු ගැනත් ගම්මැද්ද සොයා බැලුවේ ය. ගමක මිනිසුන්ගේ දරුවන්ගේ ලෙංගතුකමත් මේ අවස්ථාවේ මැනවින් පෙනුණි. මේ වගේ අහිංසක මිනිස්සු රට පුරාම ඉන්නවා. ගම්මැද්ද ඉන්නේ ඒ අය එක්කයි..