''ඔබතුමා ආණ්ඩු පක්ෂෙ සංවිධායක නෙවෙයි... '' - අනුර කුමාර කතානායකට කියයි

by Staff writer 12-02-2021 | 3:00 PM

COLOMBO (News 1st) : ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් රාජ්‍ය  අමාත්‍යවරයා අතර අද (12) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති විය.

ඒ ටයිල් හා සනීපාරක්ෂක උපාංග ආනයනය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ගැසට් නිවේදයක් පැය 24 ක් යෑමටත් පෙර අවලංගු කිරීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමත් සමගයි. මුදල් අමාත්‍යවරයා පසුව අදහස් පළ කිරීම ආරම්භ කළ අතර අනුර කුමාර මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ, මුදල් අමාත්‍යවරයාට පැවරී ඇත්තේ, ගැසට් නිවේදනය පිළිබඳ තමා විමසූ පැනයට පිළිතුරු දීම මිස වෙනත් කතා සිදු කිරීම නොවන බවයි. එහිදී කතානායකවරයාගේ අවධානය යොමු කරවමින්  අනුර කුමාර මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රකාශයක් සිදු කළේ ය.
''ඔබතුමා ඔහොම හැසිරෙන්න එපා... බලාගෙන ඉන්නෙ ඔබතුමාගේ ඔය මුලසුනේ කාර්යභාරය ගැන, අඩුම තරමෙ ඔබතුමා ඒක නතර කරන්න ඕන ඒක ප්‍රශ්නයක් කියලා මතු කරන කොට මට ඉඩ දෙන්න ඕන... ඔබතුමාගේ ඩියුටිය ඒක... ඔබතුමා ආණ්ඩු පක්ෂයෙ සංවිධායකයෙක් නෙවෙයි. ඔබතුමා මේ පාර්ලිමේන්තුවෙ සියලු මන්ත්‍රීවරුන්ගෙ අයිතිවාසිකම් ආරක්ෂා කරන මුලසුනේ ප්‍රධානියා.. එක්කො ඔබතුමා ඒ විකාරෙ නවත්තන්න ඕන..''
ඉන් පසු උපේක්ෂාවෙන් හැසිරිය යුතු බව පවසමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළිත් අතීතය සිහිපත් කරන්නට වූ අතර එහිදී අනුර කුමාර මන්ත්‍රීවරයා පැවසුවේ, 88, 89 ගැන විවාදයක් අවශ්‍ය නම්, ඒ සඳහා සූදානම් බවයි. පසුබිමක් නොගන ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි බැවින් තමා මේ කරන්නේ පිළිතුර ලබා දීමට පසුබිමක් සකස් කර ගැනීමක් බව ද එහිදී   රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. අවසානයේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අනුර කුමාර දිසානායක මහතාගේ පැනයට පිළිතුරු දුන් අතර එහදී සඳහන් කෙරුණේ, ගැසට් නිවේදනය මගින් ඉදිරිපත් කර ඇති නියෝග පිළිබඳ දේශීය නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සමාලෝචනය කිරීම සඳහා එම නියෝගය අත්හිටුවනු ලැබූ බවයි.